අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා පිහිටුවා වසර 75 ක්

    මැයි 03, 2022

    කොළඹ සිටින ඕස්ට්‍රේලියානු දූත පිරිස ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා පිහිටුවා වසර 75 ක් සපිරීමේ සංවත්සරය සමරයි

    මෙරටට පැමිණි ඕස්ට්‍රේලියාවේ වෙළෙඳ සහ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියා අංශවල පළමු සහයක ලේකම් ගැරී කොවාන් මහතා, විදේශ කටයුතු ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සමඟ 2022 අප්‍රේල් 29 වැනි සිකුරාදා දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සාකච්ඡා පැවැත්වීය.

    දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 75 ක් සපිරීමේ සංවත්සරයට සමගාමීව පැවති මෙම හමුවේ දී, කොළඹ සහ කැන්බරා අතර පවත්නා ද්විපාර්ශ්වික කටයුතුවල සමස්ත සන්දර්භය මෙන්ම, දෙරටෙ හි අන්‍යෝන්‍ය හා උපායමාර්ගික අවශ්‍යතා පිළිබඳව පවත්නා ගැටළු සම්බන්ධයෙන් ගත යුතු අනාගත ක්‍රියාමාර්ග යනාදී කරුණු ආවරණය කෙරිණි.

    පසුගිය වසර 75 තුළ පැවති ආර්ථික, වෙළඳ, ආයෝජන සහ සංස්කෘතික සබඳතා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු දූත පිරිස සිය ගැඹුරු තෘප්තිය පළ කළහ. මෙම සබඳතා මෑත කාලීනව උපායමාර්ගික සහ සහයෝගී හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය වෙමින් පවතී.

    කොවිඩ්-19 වසංගතය සහ ඉන් පසුව ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් උද්ගත වූ පෙර නොවූ විරූ ආර්ථික පසුබෑම මැඩ පැවැත්වීම සඳහා කොළඹ නගරය සිය මිත්‍ර රටවල් සමඟ සම්බන්ධ වූ ආකාරය පිළිබඳව අවධාරණය කළ විදේශ ලේකම්වරයා, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ ආර්ථික තත්ත්වය පිළිබඳ පුළුල් විස්තරයක් දූත පිරිස හමුවේ ඉදිරිපත් කළේ ය.

    විවිධ ඉල්ලීම් යොමු කරන ශ්‍රී ලාංකික ජන සමාජයේ කොටසක් විසින් ඉස්මතු කොට ඇති වත්මන් මතභේදකාරී තත්ත්වය පිළිබඳව ද විදේශ ලේකම්වරයා මෙහිදී දූත පිරිස දැනුම්වත් කළේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූලව ඕනෑම විසඳුමකට එළඹීම සඳහා රජය සහ ජනාධිපතිවරයා සූදානමින් සිටින බවද එතුමා පැහැදිලි කළේ ය. කඩින් කඩ සිදු වූ සිදුවීම් කිහිපයක් පිළිබඳව මෙන්ම විරෝධතාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ප්‍රමාණුකූල නොවන පරිදි ප්‍රතිචාර දක්වා ඇති බව සඳහන් කරමින් පළ වන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ කටයුතු ලේකම්වරයා, මේ හා සබැඳි විමර්ශන කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවත් අපරාධකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන බවත් සඳහන් කළේ ය.

    මෙම විස්තර කිරීම අගය කළ කොවාන් මහතා, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නම් දැරූ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය සහ මෙවලම් හරහා විරුද්ධවාදීන් සමඟ ගනුදෙනු කරන බව ප්‍රකාශ කළේ ය. මෙම මොහොතේ දී ශ්‍රී ලංකාවට හැකි ඕනෑම ආකාරයකින් සහය වීම සඳහා පවත්නා විකල්ප ඕස්ට්‍රේලියානු රජය ගවේෂණය කරමින් සිටින බවද එතුමා මෙහිදී තහවුරු කළේ ය.

    දේශසීමා අවදානම් තක්සේරුව, යාත්‍රා නිරීක්‍ෂණය, පුද්ගල ජාවාරම්වලට එරෙහි වීම සහ වෙනත් ජාත්‍යන්තර අපරාධ යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙරටම සැලකිය යුතු ප්‍රගතියක් මෙන්ම සහයෝගයක් ලබා ඇති බව පිළිගත් නියෝජිතයන් දෙපළ, එකඟ වන ලද තීරණ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ බලධාරීන් සමඟ එම කටයුතු තීව්‍ර කිරීමට ද තීරණය කළහ.

    “සමුද්‍රීය ආපදා සුදානම් යාන්ත්‍රණය” යන අත්‍යවශ්‍ය මුලපිරීම සම්බන්ධයෙන් මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව කරුණු විමසූ දෙපාර්ශ්වය මෙම මුලපිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සිය එකඟත්වය පළ කළහ. මානව හිමිකම් සම්බන්ධයෙන් ලබා ඇති මෑත කාලීන ප්‍රගතිය විදේශ කටයුතු ලේකම්වරයා විසින් මෙරටට පැමිණි සහකාර ලේකම් කොවාන් මහතා, මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මැතිතුමා සහ එතුමාගේ කණ්ඩායම යාවත්කාලීන කරන ලදී.

    ශ්‍රී ලංකාවට නිදහස හිමි වීමට පෙර එනම්, 1947 අප්‍රේල් 29 වැනි දින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවන ලදී. ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා, මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

     

    විදේශ කටයුතු අමාත්‍යාංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya