අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා සහ ආර්ථික බලපෑම් හමුවේ වුවද රටේ ජනතාවගේ අවශ්‍යතා ක්‍රමානුකූලව එකින් එක ඉටු කරනවා - අග්‍රාමාත්‍ය  

    මාර්තු 21, 2022

    කොරෝනා සහ ආර්ථික බලපෑම් හමුවේ වුවද රටේ ජනතාවගේ අවශ්‍යතා ක්‍රමානුකූලව එකින් එක ඉටු කිරීමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    කොලොන්න නවනැලිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කරන අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (18) දින මේ බව සඳහන් කළේය.

    ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සෙත්පිරිත් සඡ්ජායනා මධ්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කළ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමරුඵලකය නිරාවරණය කරමින් චෛත්‍යයට ප්‍රථම මල් පූජාව පැවැත්වීය.

    අපවත්වී වදාල පූජ්‍ය රක්වානේ ඥාණීස්සර හිමියන් විසින් ගොඩනැගූ, වසර 73ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය කුඹුරුගමුවේ රතනසාර හිමියෝ විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් කරනු ලබන ආගමික, ශාසනික හා සමාජීය සේවය අගයා සමස්ත ලංකා “දහම් සිසිල” පදනම මඟින් ප්‍රදානය කළ “සද්ධර්ම කිර්ති ශ්‍රී ශාසන ශෝභන මධුරභාණී”ගෞරව නාම සන්නස් පත්‍රය අග්‍රාමාත්‍යතුමා විසින් මෙහි දී උන්වහන්සේට පිළිගන්වනු ලැබීය.

    කොලොන්න-සූරියකන්ද මාර්ගයේ සංවර්ධන කටයුතු අතර මග ඇණහිට ඇති බැවින් මාර්ගයේ වැඩකටයුතු අවසන්කර දෙන ලෙස උත්සවයට සහභාගිවී සිටි භික්ෂූන් වහන්සේලා සහ ගම්වැසියෝ අග්‍රාමාත්‍යතුමාගෙන් මෙහිදී ඉල්ලා සිටියහ. ඊට ඒ මොහොතේදීම ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍යතුමා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධකර ගනිමින් මාර්ගය කඩිනමින් නිමකරන ලෙසට උපදෙස් දුන්නේය.

    ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ, කොලොන්න කලූගල ශ‍්‍රී හේමගිරි පිරිවෙනේ පරිවේනාධිපති අමරපුර අරියවංශ සද්ධර්ම යුක්තික මහා නිකායේ සබරගමු පළාතේ ද්විතීය සංඝනායක පූජ්‍ය විජේරියේ ජිනානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මඩුවන්වෙල ශ්‍රී මුදලින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති මඩුවන්වෙල ශ්‍රී සුගතානන්ද ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කර සිටියහ.

     

    මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොලොන්න ප්‍රාදේශිය සභාවට ගොස් ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු පිළිබඳ සොයා බැලුවේය. කොලොන්න ප්‍රාදේශිය සභාවේ සභාපති ටී. රූපසේන මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සමග ගැටලු සාකච්ඡා කළ අග්‍රාමාත්‍යතුමා, ප්‍රාදේශීය සභා ගොඩනැගිලි පරිශ්‍රයේ පැවති දර්ශ කුමාර ලියනගේ සහ දසුන් කුමාර ලියනගේ නිවුන් සොයුරන්ගේ ආලේඛ්‍ය චිත්‍ර ප්‍රදර්ශනය ද නැරඹුවේය.

    නවනැලිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කරන අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.
    අද මෙම ස්ථානයට පැමිණ මෙම උත්සවයට සම්බන්ධවීමට ලැබීම ගැන මම ඉතාමත් සංතෝෂ වෙනවා. තමුන්නාන්සේලා දන්නවා අද රට ඉතාම අසීරු මට්ටමක තියෙන වෙලාවක්. එක පැත්තකින් කොරෝනා වසංගතයට මුහුණ පාන්න සිද්ධවෙලා තියෙනවා. ඊට අපි ඉතා සාර්ථකව මුහුණ දුන්නා. ඒ වගේම වෙනත් ආර්ථික බලපෑම් ඇතිවෙලා තියෙන යුගයක තමයි අපි ජීවත්වන්නෙ. එහෙත් රජයක් වශයෙන් අපි ජනතාවට දිය යුතු මෙන්ම කළ හැකි සියලු සහන සැලසීමටත් රජයේ වගකීමක් වශයෙන් ගෙන එම කටයුතු ඉටු කිරීමටත් සූදානමින් ඉන්නවා. විශේෂයෙන්ම ගමක ප්‍රදේශයක් දියුණු වෙන්න නම් මහා මාර්ග, විදුලිය,ජල පහසුකම් ලබා දිය යුතුව තිබෙනවා. අපි විශේෂයෙන්ම ඒ කාරණා කෙරෙහි අවධානය යොමු කරනවා. ගම්බදව විදුලිය දීම, මංමාවත් සාදා දීම ආදිය අද අපි ඉටු කරමින් තිබෙනවා.

    එක පාරටම මුළු රටක් සංවර්ධනය කරන්න පුළුවන් කමක් නැහැ. එහෙත් ක්‍රමානුකූලව එකින් එක අරගෙන රට සංවර්ධනය කිරීම තමයි අපේ පරමාර්ථය. ඒ අනුව තමයි අපි අද හැම ප්‍රදේශයක් තුළම වැඩකරමින් රටම වැඩබිමක් බවට පත්කර තිබෙන්නෙ. පසුගිය ආණ්ඩුව කාලේ අවුරුදු පහක් විතර සම්පූර්ණයෙන්ම රටේ සංවර්ධන වැඩ නැවතිලා තිබුණා. ඊට පසුව නැවත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යටතේ මේ වැඩ ක්‍රමානුකූලව ආරම්භවෙලා තියෙනවා. ඉතිං අපිට ටික කලක් මේක කරලා මේ රටේ සංවර්ධනය ඇති කරන්න අවශ්‍යයයි. එතැනදි අපි ඒ සංවර්ධනය විතරක් නෙමෙයි ආගමික වශයෙනුත් අපි ඒ සංවර්ධනය කළ යුතුයැයි මම විශ්වාස කරනවා.

    අපි බෞද්ධයන් වශයෙන් ජනතාව පන්සලට යොමු කරවීම කළ යුතුයි. අද විශේෂයෙන් කුඩා කාලයේ පටන් දරුවන්, ඒ වගේම තරුණ පරපුරත් පන්සලට යොමු කිරීම අපේ වගකීමක්. ඒ නිසා ඉරිදා දහම් පාසල වෙත දරුවන් යොමු කිරීම දෙමාපියන්ගේ වගකීමක්. ආගමික පසුබිමක් තුළ හැදෙන සමාජයක් තමයි අපි ගොඩනැගිය යුත්තේ. ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ලබාදෙන්නට බුද්ධශාසන අමාත්‍යාංශය වශයෙන් අපි ලෑස්තියි කියන එක අපි මතක් කරන්න ඕන.

    ඒ වගේම අපි තමුන්නාන්සේලාගේ ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් තියෙන නිසා රටේ ජනතාවගේ අවශ්‍යතා හඳුනගත්ත පිරිසක් තමයි අද රට පාලනය කරන්නෙ. ඒ නිසා ක්‍රමානුකූලව තමයි ඒ කටයුතුවලට අපට යෙදෙන්න සිද්ධවෙලා තියෙන්නෙ. එක පාරට, එක පැයකින්, එක දවසකින්, එක මාසයකින්, එක අවුරුද්දකින් මේ සියලු දේ කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් එකින් එක ඉටු කිරීමට අපි පියවර ගනිමින් තියෙනවා. ඒ සඳහා ඔබේ සහයත් අපට අවශ්‍ය වෙනවා. මේ අලංකාර චෛත්‍යරාජයාණන්වහන්සේ ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙනයාමත් දියුණු කිරීමත් මේ ගම්මානයේ සියලු දෙනාගේම වගකීමක් බවත් මතක් කරනවා. ඔබ සැමට සුබ අනාගතයක් වේවා! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මටයි රංජිත් සොයිසා අපේ නැසී ගිය මන්ත්‍රීතුමාටයි අපේ නායක හාමුදුරුවො 2018 දි තමයි කිව්වේ, මහින්ද මහත්තයා ගෙන්නලා දෙන්න මේ චෛත්‍යයේ කොත නිරාවරණය කරන්න කියලා. ගිය අවුරුද්දෙ මැයි වෙසක් පොහොයට මෙම චෛත්‍ය කොත නිරාවරණය කරන්න තිබුණත්, රටේ පැවැති තත්ත්වය නිසා එය තවත් වසරක් පමණ ප්‍රමාද වුණා. එහෙත් අග්‍රාමාත්‍යතුමාට නැවත මේ පිළිබඳ මතක් කර ගමන් මම එනවා කියලා කිව්වා.

    තවත් උත්සවයකට යන්න තිබෙද්දිත් මේ සියලු දෙනාගේම ඉල්ලීම අහක දමන්නෙ නැතිව මෙම විහාරස්ථානයට පැමිණියා. ඒ වගේම මේ ප්‍රදේශයේ තිබෙන අඩුපාඩුකම් කියන්න අපේ සංවිධායකතුමා ඇතුළු මන්ත්‍රීතුමන්ලාට අවස්ථාවකුත් අග්‍රාමාත්‍යතුමා ලබලා දීලා තිබෙනවා. වාහනයේ එන ගමන්ම ජානක, මේ මාර්ගය දෙනියාටම හදලා ද තියෙන්නෙ කියලා අහපු අග්‍රාමාත්‍යතුමා, පන්සලට එහායින් නැවතිලා තියෙන්නෙ කිව්වාම, මෙතනට ආපු ගමන්ම කළේ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමාට දුරකථන ඇමතුමක් අරගෙන හෙටම ඇවිත් මේක බලලා මේ ජනතාවට දෙනියායටම මේ පාර හදලා දෙන්න කියලා අමාත්‍යාංශ ලේකම්තුමාට දැනුම් දුන්නා. මෙහෙ ජනතාව කියන්නෙ අපේ මහින්ද මහත්තයා ඇවිත් යමක් කිව්වොත් ඒක ඉටු වෙනවා කියලා.


    මම අමාත්‍යාංශය භාරගත්ත අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා කිව්වේ මේ දිස්ත්‍රික්කයේ කුඩා වැවිලි බෝග වගා කරන ගොවියන්ගෙ අත මිට සරුවෙන වැඩක් කරන්න කියලා. අපි ආණ්ඩුව ගන්න කොට ගම්මිරිස් රුපියල් 400යි. අද 1600යි. ඒ වගේම එදා රු.1600ට තිබුණු කුරුඳු අද 3500යි. පිටරටින් ගේන සියල්ල නතර කරලා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා තමයි ඒ අවස්ථාව ඔබට ලබලා දුන්නෙ.

    එදා කොලොන්නෙ වෙළඳපොලේ තිබුණෙ වියට්නාමයේ ගම්මිරිස්. එතුමා කිව්වා ගම්මිරිස් ඇටයක්වත් මේ රටට ගේන්න එපා කියලා. අග්‍රාමාත්‍යතුමනි ලබන මාර්තු මාසය වනවිට බුද්ධිමය දේපළ අයිතිය ලංකාවේ ගම්මිරිස්වලට හිමිවෙනවා කොලොන්නෙ ගම්මිරිස් ලෝකයේ හොඳම ගම්මිරිස් බවට ඒ සහතිකය අපට ලැබෙනවා. මේ වනවිට ලෝකයේ හොඳම කුරුඳු කියලා ඒ සහතිකය පසුගිය පෙබරවාරි 02 වැනිදා අපට ලැබුණා.

    අපේ අග්‍රාමාත්‍යතුමා යුද්ධය අවසන් කළා විතරක් නෙමෙයි රට සංවර්ධනය කරා යොමු කළ බවත් සිහිපත් කරන්න ඕනි යැයි පැවසීය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, අකිල එල්ලාවල, මුදිතා ද සොයිසා, ගයාශාන් නවනන්දන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ කොඩිතුවක්කු, කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභාපති ටී.රූපසේන මහත්ම මහත්මීහු ඇතුළු බැතිමත්හු පිරිසක් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya