අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාගරික සංවර්ධන අධිකාරිය සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත්වීමෙන් හෝලුවාගොඩට දියදම් කෘෂි උද්‍යානයක්

    මාර්තු 15, 2022

    වසර 50 ක කාලයක් තිස්සේ අත්හැර දමා තිබූ ගාල්ල, හෝලුවාගොඩ පුරන් කුඹුරු යාය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි දියදම් කෘෂි පාරිසරික උද්‍යානයක් බවට පත්කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් අනුව මෙම “හෝලුවාගොඩ දියදම් කෘෂි පාරිසරික උද්‍යානය” ඉදිකෙරෙන අතර වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි මෙම උද්‍යානය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සකස් කරයි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් පරිසරයට ඉතාමත් ගැලපෙන සහ පරිසරයට හිතකර ආකාරයට මෙම හෝලුවාගොඩ දියදම් කෘෂි පාරිසරික උද්‍යානය සකස් කරමින් සිටී.

    හෙක්ටයාර 200 කට ආසන්නව පැවති එම කුඹුරු යායෙන්, අක්කර 19 ක පාරිසරික උද්‍යානය සකස් කිරීම සහ යලි වගා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

    “හෝලුවාගොඩ දියදම් කෘෂි පාරිසරික උද්‍යානය” ලෙස නම් කර ඇති මෙම උද්‍යානයේ සංවර්ධන ව්‍යාපෘති 05 ක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

    ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත එම මූලික ව්‍යාපෘති 05 ලෙස කෘෂි පාරිසරික උද්‍යානයක් නිර්මාණය කිරීම, ගංවතුර පාලනය කිරීම, පුරන් වූ කුඹුරු යළි අස්වැද්දීම, ඇවිදින මංතීරු ඉදිකිරීම, ජනතාවගේ නිරෝගිමත් භාවය පවත්වාගෙන යාමට සහ විනෝදාත්මක පහසුකම් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යනුවෙන් නම් කර තිබේ.

    එම මූලික ව්‍යාපෘති 05 තවදුරටත් වැඩි දියුණු කරමින් ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව ඉහළ නැංවීමේ අරමුණින් හෝලුවාගොඩ දියදම් කෘෂි පාරිසරික උද්‍යානයේ සංවර්ධන ව්‍යාපෘති 11 ක් යටතේ ආවරණය කිරීමට කටයුතු යොදා ඇත.

    ඒ අනුව එම ව්‍යාපෘති 11 ලෙස කෘෂි පාරිසරික උද්‍යානය ඉදිකිරීම, ඇවිදීමේ මංතීරුව ඉදිකිරීම, වාහන නැවතුම් අංගනය ඉදිකිරීම, ශාරීරික සුවතා මධ්‍යස්ථානය ඉදිකිරීම, රථ වාහන නැවතුම් ස්ථාන ඉදිකිරීම, හෙළ බොජුන් හල ඉදිකිරීම, කෘෂි අලෙවි මධ්‍යස්ථාන ඉදිකිරීම, ළමා උද්‍යානයක් ඉදිකිරීම, කඩ කාමර ඉදිකිරීම හා භූ දර්ශන කටයුතු ලෙසින් හඳුන්වා දී තිබේ.

    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් ආර්ථික හා සමාජ ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට අවස්ථාව හිමිවේ. හිමිවන එම ප්‍රතිලාභ මූලික වශයෙන් ගාල්ල නගරය සහ ඒ අවට කරාපිටිය, උළුවිටිකේ, ලබුදූව, රිච්මන්ඩ් කන්ද යන ප්‍රදේශයන්හි ජීවත්වන ලක්ෂ 02 කට ආසන්න ජනතාවට හිමිවේ.

    මෙම ව්‍යාපෘතිය තුළින් ජනතාවට පරිසර හිතකාමී භූ දර්ශන සහිත විනෝදාත්මක ප්‍රදේශයක් නිර්මාණය වන අතර එය ශාක සහ සත්වයින් ආරක්ෂා කිරීමට උපකාරී වනු ඇත. එසේම නව ජල රැඳවුම් පොකුණු ඇති කිරීම සහ ඒ යටතේ අපවාහන පද්ධතිය ක්‍රියාත්මක කිරීම තුළ අධික වැසි සමයේ දී ඇතිවන ගංවතුර තත්ත්වය අවම කිරීම ද පාලනය කළ හැකි වේ. තවද යෝජිත ඇවිදින මංතීරු අවට සුළු ව්‍යවසායකයින් සඳහා ව්‍යාපාරික අවස්ථාවන් ඇති කිරීමෙන් මෙතෙක් පැවති ආර්ථික තත්වයේ යම් වර්ධනය වීමක් ද සිදු වනු ඇත.

    යෝජිත හෝලුවාගොඩ කෘෂි උද්‍යානය ගාල්ල නගරයේ සිට සැතපුම් 11 ක දුරකින් පිහිටා තිබේ. මෙම යෝජිත උද්‍යානය ගිංගඟට ඍජුව සම්බන්ධ වන හෝලුවාගොඩ ඇළ සහ හෝලුවාගොඩ කුඹුරු ප්‍රදේශය තුළ පිහිටා තිබේ.

    දැනට ක්‍රියාත්මක වන සංවර්ධන අදියරයන් තුළ ජල තටාකය, ඇවිදින මංතීරු, හෙළ බොජුන් හල, ළමා උද්‍යානය සහ කඩ කාමර ඉදිකිරීමේ අංශවල ප්‍රගතිය 95% කි.

    රුපියල් මිලියන 342 ක වියදමකින් දරා නිම කරන ලද මෙම ව්‍යාපෘතිය වාස්තු විද්‍යාත්මක සැලසුම් නාගරික සංවර්ධන අධිකාරියේ නිර්මාණ සැලසුම් සහ ව්‍යාපෘති කළමනාකරණ අංශය විසින් සිදු කරනු ලබයි.

    හෝලුවාගොඩ ව්‍යාපෘතිය පාරිසරික බලපෑමේ සාර්ථකත්වය අංශ 04 ක් යටතේ පෙන්වා දෙයි. ඒ භෞතික, සමාජීය, ආර්ථික සහ පාරිසරික යන අංශ යටතේය. එම පෙන්වා දීම අනුව විධිමත් ඇළ මාර්ග පද්ධතියක් ඉදිකිරීම තුළින් ප්‍රදේශයේ ගංවතුර පාලනය වීම සිදුවෙයි. ඌණ උපයෝගීතා ඉඩම් පූර්ණ උපයෝගීතා ඉඩම් බවට පරිවර්තනය වීම, යටිතල පහසුකම් වැඩි දියුණු වීම ද සිදු වනු ඇත.

    එමෙන් ම විනෝද කටයුතු සඳහා අවකාශය පුළුල් වීම තුළින් ජනතාවගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය වර්ධනය වීම ද සිදුවෙයි. එමෙන්ම අදාළ ඉඩම් අවට පිහිටි ඉඩම්වල වටිනාකම ඉහළ යාම, කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගත හැකි භූමි ප්‍රමාණය වැඩිවීම, හරිත නගර සංකල්පය සාක්ෂාත් කරගැනීමට හැකිවීම, කෘෂි පාරිසරික උද්‍යානයක් ලෙස වැඩි දියුණු වීම ද සිදුවෙයි.

    ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශවකරුවන් ලෙස කටයුතු කරන අතර 2021 ජනවාරි මස 06 වන දින ආරම්භ කරන ලද මෙම සංවර්ධන ව්‍යාපෘතිය 2022 අගෝස්තු මස 31 වන දිනෙන් අවසන් කිරීමට නියමිතයි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම සංවර්ධන කටයුතු සිදුකෙරේ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya