මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසිකුඩා වෙරළ සංචාරක කලාපය යළි සක්‍රීය කිරීමට සංචාරක ඇමති උපදෙස්

    පෙබරවාරි 28, 2022

     පාසිකුඩා සංචාරක කලාප සැලැස්ම යාවත්කාලීන කෙරේ.
     සංචාරකයන් අතර ප්‍රවර්ධනයටත් උපදෙස්.
     සංචාරක කලාපයක් ලෙස ගැසට් කිරීමට පෙර ගැටළු විසදීම අනිවාර්යයි.

    පසුගිය යහපාලන ආණ්ඩුව අතහැර දැමූ පාසිකුඩා වෙරල සංචාරක කලාපය යළි සක්‍රීය කිරීමට වහා පියවර ගන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බළධාරින්ට උපදෙස් දෙයි. ඒ සදහා ප්‍රවර්ධන වැඩසටහනක් කඩිනමින් ආරම්භ කරන ලෙසත් එම කලාපයේ ඇති ගැටළු කඩිනමින් විසදිමට කටයුතු කරන ලෙසත් ඇමතිවරයා සංචාරක අධිකාරියට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

    පාසිකුඩා වෙරළ සංචාරක කලාපය සම්බන්ධයෙන් පසුගියදා (25) පැවති විශේෂ සාකච්ඡාවකදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි සංචාරක අමාත්‍ය කාර්යාලයේ පිහිටි ශ්‍රවනාගාරයේදී සාකච්ඡාව පැවැත්විණ.

    මෙරට සුන්දර වෙරළ තීරයක් වන පාසිකුඩා වෙරල තීරය සංචාරක වෙරල කලාපයක් ලෙස සංවර්ධනය කෙරුනේ කොටි ත්‍රස්තවාදි යුද්ධය අවසන් වීමෙන් පසුවයි. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය වරයා ලෙස සංචාරක විෂය භාරව කටයුතු කරන කාලයේදී පාසිකුඩා සංචාරක වෙරල කලාපය සංවර්ධනය කිරීම සදහා පියවර ගත් අතර එහි ඉඩම් අක්කර 156 ක්මෙම කලාපය සදහා වෙන්කලේය. ඉන් අක්කර 100 ක හෝටල් 14 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබිනි.

    මේ වන විට පාසිකුඩා සංචාරක වෙරල කලාපයේ පෞද්ගලික ආයෝජකයන් විසින් හෝටල් 12 ක් ඉදිකර ඇති අතර ඉන් දෙකක් සංචාරකයන් නොමැති වීමෙන් අකහැර දමා ඇත. ඉතිරි අක්කර 56 තුල රථ ගාලක්, වෙළද සංකීර්ණයක් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබූ අතර 2015 බලයට පත්වූ යහපාලන ආණ්ඩුව මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීම අතහැර‍ දමා තිබූ බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

    පාසිකුඩා වෙරල සංචාරක කලාපය සංවර්ධන සැලැස්ම යලි සලකා බලා යාවත් කාලීන කිරීමේ අවශ්‍යතාව ඊට සහභාගී වූ සංචාරක හෝටල් හිමියෝ ඇමතිවරයාට පෙන්වා දුන්හ. ඔවුන් මෙහිදී පෙන්වා දුන්නේ පාසිකුඩා වෙරල සංචාරක කලාපය සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් ප්‍රවර්ධනය නොකරන බවයි.

    මේ පිළිබදව ප්‍රතිචාර දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා පාසිකුඩා වෙරළ සංචාරක සංවර්ධන සැලැස්ම යලි සලකා බලා යාවත් කාලීන කිරීමට වහා කටයුතු කරන ලෙසත් පාසිකුඩා වෙරළ සංචාරක කලාපයට සංචාරකයන් ආකර්ශනය කර ගැනීම සදහා ප්‍රවර්ධන වැඩසටහන් වලට ඇතුලත් කරන ලෙසත් සංචාරක බළධාරීන්ට උපදෙස් දුන්නේය.පාසිකුඩා වෙරල තීරයේ ජලය,විදුලිය හා වෙනත් යටිතල පහසුකම් සම්බන්ධයෙන්ද මතුව ඇති ගැටළු වහා විසදීමට කටයුතු කරන ලෙසද ඇමතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

    පාසිකුඩා සංචාරක වෙරල තීරය සංචාරක කලාපයක් ලෙස ඉදිරියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බවත් ඊට පෙර මෙම කලාපය සක්‍රීය කිරීම අනිවාර්ය බවත් ඇමතිවරයා කීවේය.

    මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රසාද් ජයසූරිය,පාසිකුඩා සංචාරක හෝටල් හිමියන්ගේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්වූහ.

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya