මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සහතිකපත් ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් 

    පෙබරවාරි 23, 2022

    ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සහතිකපත් ප්‍රදානෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (22) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණි.

    1979 අංක 45 දරණ පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපිත ජාතික වැවිලි කළමනාකරණ ආයතනය කුඩා වතු හිමියන් ඇතුළු වැවිලි ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිකයන්ගේ වෘත්තීය හැකියා ඉහළ නිපුණතාවකින් යුතුව පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වේ. සම්මන්ත්‍රණ, වැඩමුළු හා විභාග පැවැත්වීම සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සඳහා පර්යේෂණ හා උපදේශන සේවා සැපයීම ද ආයතනය මගින් සිදු කෙරේ.

    ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වූ වෘත්තිකයන් 10 දෙනෙකුට ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ ගෞරවනීය වෘත්තීයමය සාමාජිකත්වය, වැවිලි ක්ෂේත්‍රයට අදාළ වරලත් වෘත්තීය සාමාජිකත්වය 09 දෙනෙකුට, ආශ්‍රිත වෘත්තීය සාමාජිකත්වය 05 දෙනෙකුට ජනාධිපතිතුමා අතින් පිරිනැමිණ.

    උසස් ඩිප්ලෝමාව 12 දෙනෙකුට, ඩිප්ලෝමාව 86 දෙනෙකුට සහ ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ පුහුණුව නිම කළ විද්‍යාර්ථයින් 224 දෙනෙකු වෙත සහතික පත් ප්‍රදානය ද මෙහිදී සිදු විය.

    වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රගමනයට හතළිස් දෙවසරක් තුළ තාක්ෂණික දැනුම දෙමින් ජාතික වැවිලි කළමනාකරණ ආයතනය සිදු කළ සේවය ඇගයීමට ලක් කළ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, නුදුරු අනාගතයේ දී විශ්වවිද්‍යාලයක් ලෙස දැවැන්ත කාර්යභාරයකට මෙම ආයතනයට ඉඩ ප්‍රස්තාව හිමි වන බව සඳහන් කළේය. එය වැවිලි ක්ෂේත්‍රයට අදාළ මානව සම්පත මානව ප්‍රාග්ධනයක් ලෙස සංවර්ධනය කිරීමේ ගමන් මග විවර වීමක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    පසුගිය දෙවසර තුළ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක ප්‍රතිඵල පෙන්වමින් සෙසු කර්මාන්තයන්ට සාපේක්ෂව වැවිලි ක්ෂේත්‍රය සුවිශේෂි ප්‍රගතියක් අත්කර ගත් බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. පසුගිය වසරේ මෙරට සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 12.5කි. ඉන් ඇමරිකානු ඩොලර් බිලියන 4ක් වැවිලි ක්ෂේත්‍රයෙන් හිමිව තිබේ. 2021 වසර වැවිලි ක්ෂේත්‍රයේ ස්වර්ණමය කාලපරිච්ඡේදයක් ලෙස හැඳින්විය හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනු ලැබීය.

    තානාපතිවරු, වැවිලි සහ වැවිලි රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සභාපති, වැවිලි ක්ෂේත්‍රයේ සේවයේ නියුතු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya