මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25ක් පිරිනමයි.

    පෙබරවාරි 05, 2022

    අභිමානවත් 74 වන නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25ක් පිරිනමයි.


    “අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභ්‍යාග්‍යමත් මව්බිමක්”යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 74 වන අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ දී,  (2022 පෙබරවාරි 04) මධ්‍යහන 1200 පැයට එම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් මාලන් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

    ජාතිය වෙනුවෙන් ආචාර පුද කිරීම සඳහා වෙඩිමුර උත්තමාචාරය පැවැත්වීම ජාතික දිනයේ දී හෝ රජය විසින් නම් කරන ලද දිනයක පැවැත්වේ. වෙඩිමුරයක් පවත්වා උත්තමාචාර පුද කිරීමේදී ලබාදිය හැකි උපරිම වෙඩිමුර ප්‍රමාණය 25 ක් වන අතර එය ජාතිය වෙනුවෙන් පිරිනැමේ. ඒ අනුව අද (පෙබරවාරි 04) දින 74 වන අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ජාතිය වෙනුවෙන් පිරිනමන වෙඩි මුර උත්තමාචාරය මෙලෙස ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ දී පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කළ අතර, මෙම අවස්ථාව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මහජනතාව වෙත සජීවීව දැක ගැනීම සඳහා පහසුකම් සැළසීමටද නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

    වෙඩි මුර උත්තමාචාරය සිදු කරනු ලබන ප්‍රමාණයන් සැලකීමේදී අවම වෙඩිමුර උත්තමාචාර 07ක් ලබාදීම කපිතාන් නිලය හෝ ඊට පහළ නිලයක් සහිත නිලධාරියෙක් වෙත ඔහු නෞකාවක අණභාරව කටයුතු කිරීමේදී ප්‍රති ආචාරයක් ලෙස සිදු කරයි. මෙම අවම වෙඩිමුර උත්තමාචාරයේ සිට වෙඩිමුර උත්තමාචාර පැවැත්වෙන අනෙකුත් අවස්ථාවන් වන්නේ, කොන්සල් වරයෙකු වෙත වෙඩිමුර උත්තමාචාර 09ක්, කොමදෝරු හෝ සමාන නිලයක් වෙත සහ කොන්සල් ජෙනරාල් වරයෙක් වෙත වෙඩිමුර උත්තමාචාර 11ක්, රියර් අද්මිරාල් හෝ සමාන නිලයක් වෙත හෝ රාජ්‍ය දූතයෙක් දූත මෙහෙවරක් අවසානයේ පිටත්වීමේදී වෙඩිමුර උත්තමාචාර 13ක්, වයිස් අද්මිරාල් හෝ සමාන නිලයක් වෙත වෙඩිමුර උත්තමාචාර 15ක්, අද්මිරාල් හෝ සමාන නිලයක් වෙත, පූර්ණ බලැති තානාපතීන් වෙත, අති විශේෂ රාජ්‍ය දූතයන් වෙත, ආණ්ඩුකාරවරයෙක් වෙත, මහ කොමසාරිස්වරයෙක් වෙත සහ ආරක්ෂක ලේකම් වෙත වෙඩිමුර උත්තමාචාර 17ක්, අගමැති, ආරක්ෂක ඇමති සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් හෝ සමාන නිලයක් වෙත වෙඩිමුර උත්තමාචාර 19 ක්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, වෙනත් ජනරජයක ජනාධිපති හෝ රාජ්‍ය ප්‍රධානී වෙත, රාජකීය පවුලක සමාජිකයෙකු‍ වෙත හා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යක ආණ්ඩුකාර වරයෙක් වෙත උත්තමාචාර වෙඩිමුර 21ක් වශයෙනි. ඒ අනුව, ජාතිය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25 පිරිනැමීම උපරිම වෙඩිමුර සංඛ්‍යාවක් පිරිනමන අවස්ථාව ලෙස සනිටුහන් වේ.

    තවද, අතීතයේ යුද නෞකාවන්ගේ සවිකර තිබූ එක් වරකදී එක් උණ්ඩයක් පමණක් දැල්විය හැකි කාලතුවක්කු (Cannon) මගින් ප්‍රහාර එල්ල කළ 14 වන ශතවර්ෂයේ සිට මෙම වෙඩිමුර උත්තමාචාර චාරිත්‍රය පැවත එන අතර, මුල්ම වතාවට නිදහස් දිනයක් වෙනුවෙන් 1948 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආචාර වෙඩි මුර 15 ක් ගාලු මුවදොර පිටියේ දී පවත්වා ඇත. ඉන් අනතුරුව 1950 වර්ෂයේදී විජය නෞකාවේදී වෙඩි මුර උත්තමාචාරය පිරිනැමීමෙන් වසර 72කට පසු ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක ජාතිය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාරයක් පිරිනමන ලද දෙවන අවස්ථාව ලෙස මෙවර ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ සිට ජාතිය වෙනුවෙන් ‍පිරිනමන ලද වෙඩි මුර උත්තමාචාරය සනිටුහන් විය.

    වෙඩි මුර උත්තමාචාරය පැවැත්වෙන අවස්ථාවේ නෞකාවේ කුඹගසෙහි විශේෂ ධජ සැරසිල්ලක් සිදුකරනු ලබන අතර, ධජ මගින් කියවෙන ඉංග්‍රීසි අක්ෂර සහ ඉලක්කම් උපයෝගී කරගනිමින් වෙඩිමුර උත්තමාචාරය “ 25 Gun Salutes for the Nation” ලෙස අර්ථ ගැන්වෙන ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ කුඹගස සැරසීම සිදු කෙරිණි.

    74 වන නිදහස් දින උළෙලට සමඟාමීව ජාතිය වෙනුවෙන් වෙඩිමුර 25ක් පැවැත්වීම ශ්‍රීලංනානෞ ගජබාහු නෞකාවේ සවිකළ බ්‍රසීලයේ නිශ්පාදිත මිලි මීටර 47 වර්ගයේ අවි 04ක් මඟින් සිදුකරන ලද අතර, ආචාර වෙඩිමුර කණ්ඩායම ශ්‍රීලංනානෞ ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් මාලන් පෙරේරා මහතා, විධායක නිලධාරී කොමාණ්ඩර් ඩීඑම්ඒබී දසනායක මහතා සහ අවි නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් අයිඒඩබ්බී ඈගල්ල මහතා යන නිලධාරීන්ගෙන් සමන්විත විය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya