මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මර්දනය සෞඛ්‍ය අමාත්‍යංශයට පමණක් කළහැකි දෙයක් නෙමෙයි- අනෙකුත් සෑම ආයතනයකටම මෙන්ම ජනතාවටත් වගකීමක් තියෙනවා- විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

    ජනවාරි 27, 2022

    ඩෙංගු මර්දනය සෞඛ්‍ය අමාත්‍යංශයට පමණක් කළහැකි දෙයක් නොවන බවත්, අනෙකුත් අමාත්‍යංශ වලට සෑම ආයතනයකටම මෙන්ම ජනතාවටත් වගකීමක් පවතින බවද ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

    ඔහු මේ බව කියා සිටියේ, අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඩෙංගු රෝගය නිවාරණය සහ පාලනය සදහා බහු පාර්ශවීය ප්‍රවේශ ශක්තිමත් කිරීම යන මැයින් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    ජනවාරි 12 වනදා ජනාධීපති ලේකම්තුමන්ගේ අත්සනින් නිකුත්වූ චක්‍රලේඛයෙහි අපේ රටේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට ලබාගතයුතු ප්‍රවේශය කුමක්ද යන්න පැහැදිලිව සදහන්ව ඇති බවද ඔහු සිහිපත් කළේය.

    මෙම චක්‍රලේකය නිකුත් වූයේ පසුගිය වසරේ අග භාගයේ ඩෙංගු මර්දනය සදහා වන ජනාධිපති කාර්යයසාධක බලකාය විසින් දිගින් දිගටම පැවැත්වූ සාකච්ඡා අනූව ඩෙංගු මර්දනය යනු සෞඛ්‍ය අංශයේ පමණක් වගකීමක් නොව සමස්ථ රටේම සහ සමස්ථ ජාතියේම වගකීමක් බව හදුනාගනිමින් ඒ සදහා ගතයුතු වඩාත්ම නිවැරදි සහ කාර්යක්ෂම ප්‍රවේශය කුමක්ද යන්න සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස අමාත්‍ය මණ්ඩල සන්දේශයකින් පසුව බවද ඔහු පැවසුවේය.

    සෞඛ්‍ය අංශ පමණක් නොව සැවොම මෙයට දායක වී කොවිඩ් වසංගතය ඇති අවස්ථාවක ඩෙංගු රෝගයද වසංගතයක් ලෙස පැතිරීමට නොදී පාලනය කරගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරුද පැහැදිලිව මෙහි අන්තර්ගත බව වෛද්‍යවරයා සඳහන් කළේය.

    රටේ ඇති රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පෞද්ගලික යන සෑම ආයතනයක්ම සෑම ස්ථානයක්ම ඩෙංගු වලින් තොර පරිසරයක් බවට පත්කිරීමේ අවශ්‍යතාවය හදුනාගෙන ඇති බවද, නිවෙස් වලදී මෙන්ම පාසල්, ඉදිකිරීම් ක්ෂේත්‍ර, නවාතැන් කදවුරු, වැඩබිම් ආදී ස්ථාන වලද ඩෙංගු මර්දනයට විශේෂ අවදානයක් යොමු කළ යුතු බව ඔහු පැවසුවේය.

    ඒ සදහා සෑම ආයතනයක් විසින්ම ඩෙංගු මර්දන කටයුතු සදහා වගකිවයුතු නිලධාරියෙකු පත්කිරීමේ වැදගත්කම මෙන්ම එම නිලධාරියා විසින් ක්‍රියාකාරීවී ඩෙංගු මර්දනය සදහා කටයුතු කිරීමද සතිපතා දත්ත වාර්තා තබාගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ඉදිරිපත් කරමින් කටයුතු කිරීමත් තුළින් ආයතන වල ඩෙංගු වලින් තොර පරිසරයක් බිහිකිරීමේ වැදගත්කම පිළිබදවද ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.

    පසුගිය වසර අවසානයේ මෙන්ම මෙම වර්ෂයේ ජනවාරි මුල දියත් කළ ආකාරයෙන් අවස්ථානුකූලව ඉදිරියේදී දිවයින පුරා විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කළේය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර අර්නෝල්ඩ් මහතා, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිලන්ති සෙනෙවිරත්න මහත්මිය, බස්නාහිර පළාතේ පළාත් වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය බුද්ධික මහේෂ් මහතා සහභාගී වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya