මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිළියන්දල ආකර්ෂණීය ලෙස සංවර්ධනයට පියවර- නවීන වෙළඳ සංකීර්ණයක හා වෙළඳපොළක ඉදිකිරීමේ කටයුතු ඇරඹේ

    ජනවාරි 26, 2022

    නගර සහ ගම් නියම් ගම් සංවර්ධනය කර ජන ජීවීත දියුණු සහ යහපත් කිරීමේ රජයේ අරමුණින්, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව අරඹා තිබෙන සංවර්ධන ව්‍යාපෘති මාලාවේ එක් ව්‍යාපෘතියක වැඩ කටයුතු පසුගිය දා පිළියන්දල නගරයෙන් ආරම්භ කෙරිණ.

    විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ පිළියන්දල නගරයේ දෙමහල් වෙළඳ සංකීර්ණයක් සහ වෙළඳපොළක් ඉදිකිරීමට නියමිතයි.

    පිළියන්දල නගරයේ ඉදිකළ ජනතා අයිතියට පත්කළ නව බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි අක්කර 01, රූඩ් 2, පර්චස් 19.45 ක ඉඩමක මෙම නව ඉදිකිරීම සිදුකෙරේ. ඉදිකෙරෙන නව වෙළඳ සංකීර්ණය සහ වෙළඳපොල සඳහා මහා භාණ්ඩාගාරය සහ නාගරික සංවර්ධන අධිකාරිය අරමුදල් සපයා තිබේ. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම නිම කිරීම සඳහා රුපියල් මිලියන 498 ක් වැයවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එමෙන් ම මෙම ව්‍යාපෘතිය වසර 1 1/2 ක් තුළ නිමකිරීමට නියමිතය.

    මෙම නව වෙළඳ සංකීර්ණයේ බිම් මහල වර්ග මීටර් 3486 කින් සමන්විත වේ. මෙහි පළමු මහලේ වර්ග මීටර් 3132 කි. ඒ අනුව සම්පූර්ණ බිම් ප්‍රමාණය වර්ග මීටර් 6618 ක් වේ. යෝජිත වෙළඳ සංකීර්ණයේ වෙළඳාම තුන් ආකාරයකට වර්ගීකරණයකට ලක්කර තිබේ. ඒ ග්‍රොසරි ද්‍රව්‍ය වෙළඳාම, මස් සහ මාළු වෙළඳාම, එළවළු සහ පලතුරු වෙළඳාම යනුවෙනි. මෙම සියළු වෙළඳාම් කටයුතු සඳහා යෝජිත වෙළඳ සංකීර්ණයේ සම්පුර්ණ කඩකාමර 430 ක් ඉදිකෙරේ. ඒ යටතේ ග්‍රොසරි ද්‍රව්‍ය සඳහා පළමු මහලේ කඩ කාමර 63 ක් සහ ඉහළ මහලේ කඩ කාමර 130 ක් වෙන් කෙරේ. ඒ අනුව ග්‍රොසරි ද්‍රව්‍ය වෙළඳාම සඳහා වෙන් කෙරෙන සම්පූර්ණ කඩකාමර ගණන 193 කි. මාළු සහ මස් වර්ග අලෙවිය සඳහා බිම් මහලේ කඩ කාමර 29 ක් වෙන්කෙරේ. ඉහළ මහලේ මස් සහ මාළු වර්ග අලෙවිය තහනම් කර ඇති අතර ඒ අනුව මාළු අලෙවිකරණ සම්පූර්ණ කඩ කාමර ගණන 29 කි. එළවළු සහ පලතුරු අලෙවි කිරීම ද බිම් මහලට පමණක් සීමා කර තිබේ. ඒ සඳහා වෙන්කර ඇති කඩ කාමර ගණන 208 කි.

    මේ අනුව බිම් මහල කඩ කාමර 300 කින් ද පළමු මහල කඩ කාමර 130 කින් ද සමන්විත වේ.මෙම යෝජිත වෙළඳ සංකීර්ණය තුළ අමතර වෙනත් පහසුකම් රැසකින් ද සමන්විත වී තිබේ. ඒ අනුව උත්සව සමය තුළ වෙළඳාම් කිරීම සඳහා බහුකාර්ය විවෘත මහල් අංගනයක් ද සකස් කෙරේ. එය පොදු උත්සව පැවැත්වෙන අවස්ථාවන්වල දී භාවිතා කිරීමට හැකිවන ආකාරයට සකස් කිරීමය නියමිතය. එහි ප්‍රදර්ශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට ද අවස්ථා හිමිවෙයි.

    ඉතා විශාල වෙළඳසැල් කඩ කාමර ප්‍රමාණයක් පැවතීම මත කඩ කාමර 04 ක් එම වෙළඳසැල්වල පරිපාලනය කිරීමේ කටයුතු සඳහා ද වෙන්කර තිබේ. වෙළඳ සංකීර්ණය භාවිතා කරන පාරිභෝගික ගණුදෙනුකරුවන්ගේ පහසුව සහ ප්‍රයෝජනය සඳහා ස්වයංක්‍රීය බැංකු ටේ්‍රලර් යන්ත්‍ර ඒකකයක් ද ඉදිකෙරේ. ඒ සඳහා ප්‍රමාණවත් ඉඩකඩක් ද වෙන් කිරීමට නියමිතය.

    මේ හැර වෙළඳ සංකීර්ණයට පැමිණෙන පාරිභෝගිකයින්ට අසුන් ගැනීම සඳහා පොදු අසුන් සහිත ස්ථානයක් ද වෙන්කෙරේ.සනීපාරක්ෂක පහසුකම් යටතේ කාන්තා, පිරිමි සහ ආබාධිත පුරවැසියන් සඳහා වන පොදු වැසිකිළි පද්ධතියක් ද ඉදිකිරීමට නියමිතයි. අලෙවිය සඳහා වන පළතුරු සහ එළවළු වර්ග සෝදා පිරිසිදු කිරීමට පලතුරු සහ එළවළු සේදීම සඳහා වෙනම ස්ථානයක් ද වෙන් කිරීමට සැලසුම් කර ඇත. වෙළඳ සංකීර්ණය සඳහා වාහන 178 ක් නැවැත්විය හැකි රථගාලක් ඉදිකිරීමට ද නියමිතයි. මෙම රථගාලේ ලොරි, කාර්, ත්‍රීවීල්, මෝටර් සයිකල් නැවැත්වීමේ හැකියාව පවතී. විදුලිබල අමාත්‍ය ගාමීණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ කලින් ඉදිකළ බස් නැවතුම්පොළ මෙන් ම මෙම ව්‍යාපෘතිය මෙම ප්‍රදේශයට ඉතා ප්‍රයෝජනවත් කරුණක් වන බවයි.

    “පිළියන්දල පොදුවෙළඳපොළ දැන් අවිධිමත්වයි පවතින්නේ. මේ පොදුවෙළඳපොළ හැදුවේ සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ කාලයේ දී. ඒ 1950 ගණන්වල. ඊට පස්සේ පැලැස්තර දැම්මා විතරයි අංග සම්පූර්ණව හදන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒක නිසා අපි කල්පනා කළා නගරය දියුණු කරන්න නම් නගරයට හොඳ බස් රථ නැවතුම්පොළක් ඕන. ඒ වගේ ම හොඳ වෙළඳපොළක් ඕන. මේ සියල්ල සිදු කිරීම සඳහා ක්‍රමවත් හොඳ සැලැස්මකුත් ඕන. ඒ අනුව අපි අලුත් අතුරුමාර්ග පද්ධතියක් නිර්මාණය කළා කැස්බෑවට. මේවා ලේසියෙන් කරන්න පුළුවන් වුණු දේවල් නෙමෙයි. ඒකට අපේ රටේ ඇතැම් දේශපාලඥයින් විවිධ ප්‍රශ්න ඇති කළා. ඒත් අපි දිගට ම වැඩ කළා. ඒකේ ප්‍රතිලාභය වුණේ මේ ප්‍රදේශය හිතුවට වඩා ඉක්මණින් දියුණු වීමයි.” යනුවෙන් ද විදුලිබල අමාත්‍ය ගාමීණී ලොකුගේ මහතා සඳහන් කළේය.

    නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ එදා මම දුටු පිළියන්දල නගරය අද සංවර්ධනය වී තිබීම සතුටට කරුණක් වන බවයි.

    “මෙම සංවර්ධනය ඇතිවූයේ පසුගිය දශක කිහිපයේදීයි. ඉදිරියට මෙයටත් වඩා සංවර්ධයක් සිදුවීමට නියමිතයි. ගාමීණී ලොකුගේ ඇමතිතුමා මේ ලස්සන බස් නැවතුම්පොළ මෙයට පෙර හැදුවා. අද මේ විශාල පොදු වෙළඳපොළ හදන්න තමා සැලසුම් කරන්නේ. බැලුවම මේක විශාල ව්‍යාපෘතියක්. ඉතාමත් විශාල පහසුකම් සහිතව තමයි මෙම පොදු වෙළඳපොළ ඉදිකෙරෙන්නේ. මේකෙන් කියවෙන්නේ මේ අවුරුද්දේ අපි අලුතින් පටන් ගත්ත ව්‍යාපෘති ඉතාම අසීමිත බවයි. පසුගිය දිනවල මේ ආර්ථික අර්බුදය මත අලුතින් ව්‍යාපාර පටන් ගැනීම ගැන අපිට නැවත වරක් හිතන්න වුණා. ඒ අතරෙම තමයි නාගරික සංවර්ධන අධිකාරිය මේ සුවිශේෂි විශාල ව්‍යාපෘතිය අලුතෙන් ම පටන් ගත්තේ. මේ කටයුතුවලින් අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ ආදායම උත්පාදනය කරන්න. අලුත් රැකියා අවස්ථා බිහිකරන්න. ස්වයං රැකියා ඇති කරන්න. රජයේ ඉලක්කය වෙන්නෙත් ඒකයි. ඒ සඳහා තමයි මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ.” යනුවෙන් ද නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,   අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම සංවර්ධන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya