මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සියක් නගර” සංවර්ධන වැඩසටහනේ වැඩ නිම කළ ව්‍යාපෘති 08 වැනි දා ජනතා අයිතියට

    ජනවාරි 07, 2022

    ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙන බැතිමතුන්ට පොදු පහසුකම් මධ්‍යස්ථානයක්.

    මහනුවර නාගරික රථගාල මත පොදු පහසුකම් මධ්‍යස්ථානයක්.

    “සියක් නගර” සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකිරීම් අවසන් කරන ලද සංවර්ධන ව්‍යාපෘති දෙකක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ මස 08 වැනිදා මහනුවර දී ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    ඒ අනුව “සියක් නගර” සංවර්ධන ව්‍යාපෘතියට සමඟාමීව සහ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරන ලද හා ජනතාවට ප්‍රතිලාහ හිමිවන ඉහත ව්‍යාපෘති 02 ක 2022 වසරේ ජනවාරි මස 08 වැනි දින නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ජනතා අයිතියට පත්කිරීමට නියමිතව ඇත.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මඟපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන ව්‍යාපෘති සිදු කරනු ලබයි.

    රටේ පවතින සම්පත් භාවිතා කරමින් ජනතාවට ප්‍රතිලාභ ලබාදෙන ව්‍යාපෘති කඩිනමින් සංවර්ධනයට ලක්කර ජනතාවට ඍජු හා වක්‍ර ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් ආරම්භ කරන ලද සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කොටස් දෙකකින් සමන්විත වැඩ අවසන් කරන ලද මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතියයි.

    මෙම උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය 2014 වසරේ නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ව්‍යාපෘතියකි. ඒ කොළඹින් පිට නගර සංවර්ධනය කිරීම යන තේමාව යටතේය.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවලට සමඟාමීව මෙවර ද එය ක්‍රියාත්මක කෙරුණි.

    මෙම උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය ලෝක බැංකු සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත පදනම්ව තිබෙන ව්‍යාපෘතියකි. ඒ යටතේ මූලිකවම නගර 03 ක් තෝරාගෙන තිබිණ. ඒ මහනුවර, ගාල්ල සහ යාපනය යන නගර 03 යි.

    මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රධාන අංශ 04 කට බෙදා තිබේ. ඒ රථවාහන තදබදය අඩුකිරීම සඳහා ප්‍රවාහන පද්ධතිය වැඩිදියුණු කිරීම, මහනුවර නාගරික ජල සම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම, නාගරික වැසි ජල අපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සහ නාගරික පොදු පහසුකම් වැඩිදියුණු කිරීම යන අංශ 04 යි.

    ඒ අනුව නාගරික පොදු පහසුකම් වැඩිදියුණු කිරීමේ අංශය යටතේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කෙරිණ. එම සැලසුම අනුව ව්‍යාපෘති 02 ක් යෝජනා වී ක්‍රියාත්මක කෙරුණු අතර එම ව්‍යාපෘති 02 හඳුන්වා දී තිබෙනුයේ මහනුවර දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන් සඳහා පොදු පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ලෙස ටොම්ලින් උද්‍යානය සකස් කිරීම සහ නාගරික රථගාල මත මහනුවර නගරයේ පොදු පහසුකම් උද්‍යානයක් ඉදිකිරීමයි. මෙම නාගරික රථගාල තුළ රථවාහන 700 ක් නවතා තැබීමට අවස්ථාව සලසා තිබේ. මෙමඟින් මහනුවර නගරයේ රථවාහන තදබදය අවම කිරීම ද සිදුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අවධාරණය කරයි.

    ඒ සමඟම ජනතාවට වඩාත් සුවපහසු මගී ප්‍රවාහන සේවාවක් ලබාදීම සඳහා දැනට පවතින ගුඩ්ෂෙඩ් භූමියේ නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීම ද යෝජිතයි. යෝජිත මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දුම්රිය සහ බස්රථ නැවතුම් මධ්‍යස්ථානයක් ලෙස ඉදිකෙර්.

    එම සකස් කරන ලද ටොම්ලින් උද්‍යානය රුපියල් මිලියන 373.89 ක වියදමකින් ගොඩනගා තිබේ. මේ යටතේ ප්‍රධාන වශයෙන් අංශ 03 ක් සංවර්ධනය සිදුකරන ලදී. එනම් වන්දනාකරුවන්ට විවේක ගැනීම සඳහා කාමර පහසුකම් ඉදිකිරීම, සනීපාරක්ෂක පහසුකම් ඉදිකිරීම සහ වන්දනාකරුවන්ට අවශ්‍ය දෑ මිලදී ගැනීම සඳහා වෙළඳකුටි 16 ක් ඉදිකිරීම සිදුකෙරිණ.

    එමෙන් ම මහනුවර නගරයේ පොදු පහසුකම් උද්‍යානය රුපියල් මිලියන 531.12 ක වියදමින් ඉදිකෙරුණි. මෙම උද්‍යානය අංශ 04 ක් යටතේ පහසුකම් සලසා තිබේ. ඒ අනුව දේශීය ආහාර වෙළදාම් කිරීම සඳහා හෙළ බොජුන් හලෙහි වෙළෙන්ඳන් 20 දෙනෙකුට වෙළදාම් සිදු කිරීමට ස්ථානයක් ඉදිකිරීම, මහනුවරට ආවේණික පාරම්පරික ද්‍රව්‍ය ප්‍රදර්ශනය කිරීමට සහ වෙළදාම් කිරීම සඳහා වෙළඳ කුටි 100 කින් සමන්විත ස්ථානයක් ගොඩනැගීම, මහනුවර නගරයට විශාල අඩුවක්ව පැවති සංස්කෘතික සංදර්ශන වැනි දෑ පැවැත්වීම සඳහා වේදිකාවක් සහ ආසන 600 ක් සහිත විවෘත ස්ථානයක් ඇතිකිරීම සහ සනීපාරක්ෂක පහසුකම් ඇතිකිරීම යන අංශ එම පහසුකම් ලෙස දැක්විය හැක.

    මහනුවර නගරයේ මෙම සංවර්ධන ව්‍යාපෘතීන්හි සමස්ත අරමුණු ලෙස දක්වා තිබෙන්නේ වර්තමානයේ කඩිනම් සංවර්ධනයට යටත්ව ඇති නාගරික යටිතල පහසුකම් සහ සේවා පද්ධතීන් වැඩිදියුණු කිරීම උදෙසා සිදුකරන ආයෝජනවල ආර්ථිකමය ඉඩ ප්‍රස්ථාව මෙන් ම යහපත් ජීවන වටපිටාවක් අදාළ නාගරික ප්‍රදේශවල ඇතිකිරීමයි.

    මෙම සංවර්ධනය තුළින් මහනුවර නගර සීමාව තුළ ජීවත් වන 108,000 ක් වූ ප්‍රජාව ඍජු ප්‍රතිලාභ ලබන අතර මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත්වන මිලියන 1.37 ක් වන ජනතාව වක්‍රව මෙහි ප්‍රතිලාභ ලබති.

    මෙයට අමතරව මහනුවර දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තවත් ව්‍යාපෘති 06 ක් ක්‍රියාත්මක කෙරුණු අතර, ඒ යටතේ රජවීදිය, දිගන, තෙල්දෙණිය, වත්තේගම, ගුරුතලාව, පුපුරැස්ස සහ නාවලපිටිය යන නගරවල සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya