මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දික්වැල්ල හා දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත උපාධිධාරී අභ්‍යාසලාභීන්ට ස්ථීර පත්වීම්

    ජනවාරි 05, 2022

    දික්වැල්ල හා දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

    රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන 2020 යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයට තවත් රාජ්‍ය සේවකයින් 50000 එකතුවීම සංකේතවත් කරමින් අද (05) දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී උපාධිධාරින් වෙත
    පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි.

    අභ්‍යාසලාභී උපාධිධාරීන් ලෙස පුහුණුව ලැබූ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපාධිධාරීන් 54ක් හා දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපාධිධාරීන් 34ක් දකුණු පළාත් සභාව යටතේ සංවර්ධන නිලධාරී තනතුර සඳහා මෙහිදී පත්වීම් ලැබූහ.
    පත්වීම් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සියලුම උපාධිධාරීන් වෙත ස්ථීර රැකියා අවස්ථා ලබා දීම මැතිවරණ පොරොන්දුවක් ඉෂ්ඨ කිරීම හා සමාජ වගකීමක් ඉටු කිරීම ලෙස අර්ථ ගැන්විය හැකි බවයි.

    තමාගේ පාර්ලිමේන්තු කාලය තුල 50000 ආසන්න උපාධිධාරීන් පිරිසකට පත්වීම් ප්‍රදානය කළ තවත් අවස්ථා 3ක් අමාත්‍යවරයා සිහිපත් කළේය. එනම් 2004 සහ 2012 වර්ෂ වලදී එවකට ජනාධිපතිව සිටි වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් අවස්ථා දෙකකුත් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් 2022 වසරේ මේ රැකියාගත කිරීමේ අවස්ථාවත් වශයෙනි.

    “2012 වසරෙන් පසු වසර 10ක් වැනි දීර්ඝ කාලයකින් පසුව නැවත උපාධිධාරීන් විශාල පිරිසකට රැකියා ලබාදීම පිලිබඳව මමත් ප්‍රතිපත්ති සම්පාදකයෙක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට ස්තූතිවන්ත වෙනවා. කංචන විජේසේකර මැතිතුමා මෙම රැකියා ලබාදීමේ කාර්යය සාර්ථක කර ගැනීම සදහා තරුණ දේශපාලකයෙක් ලෙස විශාල කැපකිරීමක් සිදුකළා. උපාධිධාරීගෙන් කොටසක් ගුරු සේවයට ඇතුල් කරගන්නා ආකාරය පිළිබඳව කංචන විජේසේකර මැතිතුමා සහ මා අතර මා අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරූ කාලය තුල සාකච්ඡා ගණනාවක් පැවැත්වුවා” යන්න අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.

    ගෝලිය වසංගතය හේතුවෙන් ලෝකයම දරුණු ආර්ථික අර්බුදයකට ලක්වී ඇති මොහොතක හා එම ආර්ථික අර්බුදය ශ්‍රි ලංකාවටත් දැඩිව බලපා ඇති මොහොතක නව පත්වීම්ලාභීන්ගේ වැටුප් සඳහා මුදල් සොයා ගැනීම අභියෝගයක් වුනත් එම අභියෝගයට සාර්ථකව මුහුණ දීම සම්බන්ධයෙන් තමා මුදල් අමාත්‍ය තුමාටත් මහා භාණ්ඩාගාරයටත් විශේෂ ස්තූතිය පුද කරන බවත් රජය මීට පෙර ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සදහා ද රුපියල් බිලියන 30ක් වැය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    “ඔබ රාජ්‍ය සේවයට ඇතුල් වනුයේ මෑත කාලීන ශ්‍රී ලාංකීය පුරවැසියාගේ ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ඡේදයක බව අපි මනසේ තැන්පත් කර ගත යුතුයි. මීට දින කිහිපයකට පෙර රුපියල් බිලියන 229ක ආර්ථික සහන පැකේජයක් අපි ජනතාව වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේදී අනුමත කළා. ඒ වගේම රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදීමට නියමිත රුපියල් 5000 දීමනාව ද මේ මස සිට ඔබ සඳහා ද ලැබීමට නියමිතයි. අද දිනයේ පත්වීම් ලබන ඔබ ආසන්න වශයෙන් 2050 වර්ෂයේදී පමණ විශ්‍රාම යෑමට නියමිතයි. 2050 වර්ෂයේදී අපගේ පුරවැසියාට ලඟා කළ යුතු ලෝකය කුමක්ද? එය ප්‍රතිපත්ති සම්පාදකයින් ලෙස අපිත් රාජ්‍ය සේවකයන් ලෙස ඔබත් ඉතා අවධානයට ලක්කල යුතු කාරණාවක්.

    උදාහරණ ලෙස ජනාධිපතිතුමා ඉලක්කයක් දී තිබෙනවා 2050 වනවිට කාබන් විමෝචනය බින්දුව කරනලෙස. එනම් 2050 වන විට විදුලි බල නිශ්පාදනය 100% ක්ම පුනර්ජනනීය ක්‍රම මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ සියලු කාර්යයන් සදහා දේශපාලකයාටත් රාජ්‍ය නිලධාරියාටත් විශාල වගකීමක් පැවරෙනවා” යන්න අලහප්පෙරුම මහතා අවධාරණය කළේය.

    තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ සමස්ත දේශපාලකයා සහ සමස්ත රාජ්‍ය නිලධාරියා යන පාර්ශව දෙකටම ඉතිහාසය පුරා වගකීම් ඉෂ්ට නොකීරීම සම්බන්ධයෙන් විශාල චෝදනාවක් ලබා තිබෙන බවත් එය සියලු දෙනාම භාරගත යුතු බවත් ඩොලර් 3800 ක ඒක පුදගල අදායමක රට සිරවී තිබෙන්නේ තමා මේ මතුකරන කාරණාව නිසා බවත්ය. අපෙන් පසුව නිදහස ලබාගත් සිංගප්පූරුව අද සංවර්ධිත රාජ්‍යක් ලෙස පවතින්නේ එරට දේශපාලන අධිකාරියත් රාජ්‍ය සේවකයිනුත් තම වගකීම නිසි ලෙස ඉටුකිරීම නිසා බව පෙන්වාදෙන අමත්‍යවරයා වසර 30ක් පාර්ලිමේන්තුව නියෝජනය කරන තමන් හටද එම විත්ති කූඩුවෙන් බැස යාමට හැකියාවක් නැහැ යන්න තව දුරටත් සඳහන් කළේය.

    හරිත විශ්වවිද්‍යාලය හෙවත් NSBM විශ්වවිද්‍යාලයේ උපාධිය ලබාගන්නා ශිෂ්‍යයන්ගෙන් පළමු වසර තුල රැකියාවක් ලැබීමේ ප්‍රතිශතය 96%ක් ( employability) පමණ වෙනවා. SLIIT ආයතනයේ එම අගය 94% ක් පමණ වෙනවා. නමුත් අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල පාඨමාලාවන් හැදෑරීම තුල එම පරිවර්තනය සිදුකිරීමට නොහැකි වී තිබෙනවා. ඔබ රාජ්‍ය සේවකයන් ලෙස එම ආයතනවලට පරිවර්තනය සිදුකිරීමට අවශ්‍ය බැලපෑම සිදුකළ යුතුයි යන්න
    අමත්‍යවරයා නවක පත්වීම්ලාභීන් වෙත අවධාරණය කළේය.

    මෙම අවස්ථාව සඳහා විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කිත්සර මුතුකුමාරණ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ, දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක, දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් දීපා ලියනපටබැදි යන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya