මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියක් නගර වැඩසටහනෙහි වැඩ අවසන් කළ ව්‍යාපෘති අගමැති ප්‍රධානත්වයෙන් ලබන වසර මුල ජනතා අයිතියට

    දෙසැම්බර් 23, 2021

    රජය ආරම්භ කර තිබෙන සංවර්ධන ව්‍යාපෘතීන්හි ප්‍රධානතම සංවර්ධන ව්‍යාපෘතියක් වන “සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය” වැඩ අවසන් කළ ව්‍යාපෘති, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එළැඹෙන 2022 වසර මුල ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ''සෞභාග්‍යයේ ඉදිරි දැක්ම'' ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සංවර්ධනය කෙරෙන සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    සියක් නගර යනු හදුනාගත් ජන අවශ්‍යතාවන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහනකි. එය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාවට නංවයි.

    මෙහි සංවර්ධිත තේමාව මූලික ජනතා පදනම් දෙකක් ඇසුරු කරගෙන සැකසී තිබේ. ඒ ශාරීරික සහ මානසික යෝග්‍යතාව ඉහළ නැංවීම සහ සමබරව පවත්වා ගැනීම යන දෙඅංශයයි. මේ අනුව, සියක් නගර සිය ව්‍යාපෘති නගර අලංකරණය සහ ජනජීවිතයේ කෙටිකාලීන මෙන්ම දිගුකාලීන සංවර්ධනයන් ඉලක්ක කරගනිමින් සකසා තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 25 තුළින් තෝරගත් නගර 29 ක මූලික සංවර්ධන ව්‍යාපෘති 29 ක් ක්‍රියාත්මක කරන ලදි. මේවනවිට එම ව්‍යාපෘති 29 ම සංවර්ධනයේ අවසන් අදියරේ පවතින අතර, 2022 මුල ජනතා අයිතියට පත්කෙරෙනුයේ එම ව්‍යාපෘති 29 වේ.

    මෙම මූලික අදියරට අයත් ව්‍යාපෘති අතර, පොදු ප්‍රවාහන සේවා වැඩිදියුණු කිරීම, පොදු සනීපාරක්ෂක පහසුකම් සැලසීම හා වැඩිදියුණු කිරීම, සතිපොළවල්, පොදු වෙළද පොළවල් මෙන්ම බහුවිධ සහ සුපිරි වෙළද සංකීර්ණ ඉදිකිරීම, වාහන රථගාල් ගොඩනැගිම, නාගරික, මහජන සහ ළමා උද්‍යාන සැකසීම, පදික වේදිකා සෑදීම, ශරිර සුවතා පහසුකම් ලබාදීම, විසිතුරු මල්පැල සහ ගස් සිටුවීම, ක්‍රීඩාංගන සෑදීම, පාපැදි මාර්ග සෑදීම, ආරක්ෂිත වෙරළ සහ ගඟබඩ උද්‍යාන ඉදිකිරීම, ත්‍රීරෝද රථ නැවතුම් සෑදීම, පයින් ගමන් කරන මාර්ග සංවර්ධනය කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් පවතියි.

    ඒ යටතේ මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹන්පොළ නගර සංවර්ධන ව්‍යාපෘතිය සහ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ තිරප්පනේ නගර සංවර්ධන ව්‍යාපෘතිය, සියක් නගර සංවර්ධන ව්‍යාපෘතියේ පළමුව ආරම්භ කළ ව්‍යාපෘති දෙකකි. මේ වන විට එම ව්‍යාපෘතීන්හි සංවර්ධන කටයුතු අවසන් අදියරේ පවතියි.

    අඹන්පොළ නගර සංවර්ධන ව්‍යාපෘතිය මෙම නගර සියය සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීම සඳහා නිල වශයෙන් තෝරාගෙන ඇති ව්‍යාපෘති ලෙස හඳුන්වා දී තිබේ. අඹන්පොළ නගර සංවර්ධනය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හිරිපිටිය නගරය මූලික කරගෙන සංවර්ධන කටයුතු සිදු කෙරේ. ඒ යටතේ ළමා උද්‍යානයක් ඉදිකෙරේ. එකවර බස්රථ 04 ක් නවතා තැබිය හැකි ඉඩකඩ සහිත බස් නැවතුම් අංගනයක් ද මෙම ව්‍යාපෘතියට අයත් වේ. මෙම භූමිය බිම් ඇතුරුම් ගල් අල්ලා සැකසීම ද එම ව්‍යාපෘතියට ඇතුළත්ව තිබේ. එයට අමතරව පරිසරය ආරක්ෂා කිරීම සඳහා සුදුසු ශාක වර්ග සිටුවීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

    තිරප්පනේ සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රදේශයේ තිබෙන වැව මූලික කරගෙන සිදු කෙරේ. ඒ යටතේ ඇවිදීමේ මංතීරුවක් සකස් කෙරේ. එය තිරප්පනේ වැනි කෘෂිකාර්මික ග්‍රාමීය ප්‍රදේශයකට එක් වන නවතම අත්දැකීමක් වේ.

    මෙම සංවර්ධන ව්‍යාපෘතීන් ජන ජීවිතවල මූලික හරයන් හදුනාගෙන, එම හරයන්හි සියලු අවශ්‍යතාවන් ජන ජීවිතවලට සමීපව සිට ඉටුකිරීම අරමුණුකරගත් රජයේ ජනතා සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කළ පරිදිම අවසන්කර ජනතාවගේ අයිතියට පත්කිරීමත්, එමගින් ජනජීවිත යළි නොවැටෙන ලෙස නගා සිටුවීමත්, රජයේ එකම අරමුණවී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    වසර ගණනාවක් තිස්සේ කිසිදු සංවර්ධනයකට ලක්නොවූ ඒ වාගේම කිසිවෙකුගේ අවධානයකට ලක්නොවූ ප්‍රදේශ තෝරාගෙන මෙම සියක් නගර සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම පිළිබඳව ද එම ප්‍රදේශවල ජනතාව සිය ප්‍රසාදය පළ කරති.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya