මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිවේගී මාර්ගවල මුදල් ගෙවීමට Lanka QR ජංගම ගෙවීම් යෙදුම භාවිතය ඇරඹේ

    දෙසැම්බර් 21, 2021

    අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසළ මුදල් ගෙවීම සඳහා Lanka QR ජංගම ගෙවීම් යෙදුම භාවිතා කිරීමේ සමාරම්භක උත්සවය අද (21) කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .

    නේෂන් ට්‍රස්ට් බැංකුව මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ ඇතිකරගත් සම්බන්ධතාවය මත අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු අසල අතින් මුදල් ගෙවීම ( Manual Toll Collection MTC) වෙනුවට මෙම Lanka QR ජංගම ගෙවීමේ යෙදුම භාවිතා කළ හැකිය. මෙහිදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් Frimi හරහා ශ්‍රී ලංකා මහ බැංකුව , Lanka QR සහ මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධ කෙරේ. දැනට මෙම Lanka QR ජංගම ගෙවීමේ යෙදුම දැනට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පමණක් භාවිතා කරන අතර එය ඉදිරියේදී අනෙකුත් අධිවේගී මාර්ගවල භාවිතයට ගැනේ .

    Lanka QR සක්‍රීය App සහිත ඕනෑම අයෙකුට භෞතික මුදල් රහිතව මෙම ජංගම යෙදුම භාවිතා කර තමන්ගේ අධිවේගී මාර්ග ගාස්තුව ගෙවිය හැකිය. එහිදී ඔවුනට අවශ්‍ය වන්නේ ගමන ආරම්භයේ දී ලැබෙන ටිකට් පත ගමනාන්තයේ ඇති පිටවීමේ දොරටුවට ඉදිරිපත් කර , ගෙවීම් කටයුතු සඳහා ඇති Lanka QR කේතය පරිලෝකනය ( Scan ) කිරීම පමණි.

    මෙම Lanka QR ජංගම යෙදුම භාවිතා කිරීම මඟින් මුදල් භාවිතය අවම වීම , මුදල් මඟින් කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම , සමාජය ඩිජිටල්කරණ සඳහා යොමු වීම , අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසළ කාර්යාලීය වේලාවන් වලදී පවතින දැඩි රථවාහන තදබදය අවම කර ගත හැකිවීම යනාදි ප්‍රතිලාභ ලැබේ.

    මෙම සමාරම්භක උත්සවය ඇමතූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ,

    ඉතිහාසයේ ඩිජිටල් අමාත්‍යාංශය කියන්නේ කතාවට විතරක් සීමා වෙච්ච එකක් . එම අමාත්‍යාංශයේ එදා විහිළු සපයන ආයතනයක් බවට පත්වුණා . ජ.වි.ප කිව්වා අධිවේගී මාර්ගයේ යන ගමන් තලගොයි, ඉත්තෑවන් මරාගෙන ගිහිල්ලා බයිට් එකක් හදාගන්න පුළුවන් කියලා . එහෙම තමයි මේ අධිවේගී මාර්ගයේ ඒ අය දැක්කේ.මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ අධිවේගී මාර්ගය හදලා විවෘත කළාට පස්සේ මිලියන 228ක් වාහන මෙම මාර්ගයේ ගමන් කර තිබෙනවා. හුඟක් අය එදා කිව්වේ කිරි පැණි ගේන්න ,ඇඔුල් තියල් ගේන්න මේ අධිවේගී මාර්ගය හැදුවා කියලා . ෆේස්බුක් එක බලලා රට හදන්න භාරගන්න ඉන්න ජනාධිපති වරුන්ට මං මතක් කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා වගේ හොඳට දුර දිග බලලා කටයුතු කරන්න කියලා.

    තෙල් මිල ඊයේ රාත්‍රියේ සිට වැඩි වුණා. රජයක් ලෙස විශාල වශයෙන් පාඩු ලබාගෙන තමයි පසුගිය කාල පරිච්ඡේදයේ තෙල් මිල ඉහළ නොදමා ස්ථාවරව තබා ගත්තේ . මේ තෙල් මිල වැඩිවීම තාවකාලික දෙයක්. ඉදිරියේදී අපේ ආර්ථිකය ශක්තිමත් උනහම අපි තෙල් මිල නැවත අඩු කරනවා. ගෝලීය වසංගතය සමග ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා අපිට විවිධ තීන්දු තීරණ ගන්න සිදු වෙනවා . පාඩු ලබනවද එසේ නැත්නම් තෙල් මිල ඉහළ දමනවාද කියලා . රජයේ තීන්දු කලා තෙල් මිල ඉහළ දමන්න. ගෝලීය ආර්ථික අර්බුදයක් ආපුහාම රටත් රැකිලා එහි ජනතාවත් රැකගන්න ඕනා . ඒක නිසා අපි මුලින්ම ජනතාවගේ ජීවිත ආරක්ෂා කළා . තෙල් වලින් සිදුවන පාඩුව ජනතාවට ලබා නොදී සිටියහොත් එම පාඩුව දරාගන්න වෙන්නේ රජයටයි . රජය එම පාඩුව පියවා ගන්න ජනතා වෙත බදු පටවනවා . කොට ඒ බදු බර දරාගන්න වන්නේ ජනතාවටයි . ගහලා බැන්දත් එකයි බැදලා ගැහුවත් එකයි .ඒ නිසා අපි මේක හරියට තේරුම් ගන්න ඕනා.

    අනුර දිසානායක මහත්තයා දැන් වටු කුරුල්ලෝ ගැන කතා කරනවා. අනුර දිසානායකලා තමයි බිල්ලෝ මවල මේ රට ආපස්සට ගෙන ගියේ. ප්‍රභාකරන් උතුරේ ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරලා මේ රට එදා ආපස්සට ගෙනිච්චා .දකුණේ හිටපු ත්‍රස්තවාදීන් ටික එකතු වෙලා කලෙත් මේ රට එදා ආපස්සට ගෙනිච්ච එක තමයි. මේ අය ඔක්කොම තමන්ගේ අතීතය අමතක කරලා දැන් මේ රටේ අර්බුද නිර්මාණය කරනවා. අර්බුද මාකට් කරන්නත් දැන් උත්සාහ කරනවා. අනුර කුමාර දිසානායක හදවතින් නම් වටු කුරුල්ලන්ගේ කතන්දරය කිව්වේ, ඔහුත් අපි සමග එකතු වෙන්න ඕන මේ රට ගොඩනගන්න. රට ගොඩ නගන්න අපි ගන්නා ක්‍රියාමාර්ග වලට ඔහුගේ සහයෝගයත් ලබා දිය යුතුයි. ඔහු එන්නත් කරණයට සහයෝගය ලබා දුන්නේ නැහැ . ඔහු ගිහින් හොරෙන්ම එන්නත ලබා ගත්තා. තමුන්ගේ අනුගාමිකයන්ට එන්නත ලබා ගන්න කියලා අනුර දිසානායක කිව්වේ නැහැ. ඒ නිසා ඔහුගෙන් සහයෝගය අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද . ඔහු හදන්නේ රටේ අර්බුද නිර්මාණය කරමින් ඔහුගේ පක්ෂ අරමුදල තර කරගන්න. තමුන් පමණක් දේශපාලනයෙන් ජීවත් උනහම ඇති කියලා තමයි අනුර දිසානායක හැම වෙලාවෙම හිතන්නේ.

    මෙම සමාරම්භක උත්සව අවස්ථාවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් , මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ .

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya