මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැවිතෙල් හා අපද්‍රව්‍ය පිරිපහදු කිරීමෙන් ලැබෙන ආදායම 100% කින් ඉහළ දැමීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් සැලසුම්.

    දෙසැම්බර් 20, 2021

    දැවිතෙල් හා අපද්‍රව්‍ය පිරිපහදු කිරීමෙන් ලැබෙන ආදායම 100% කින් ඉහළ දැමීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් සැලසුම්.

    නැව්වලින් ඉවත් කරන දැවිතෙල් සහ අපද්‍රව්‍ය වසරකට ටොන් 50,000 ක් ඉක්මවන ප්‍රමාණයක් නව තාක්ෂණික දැනුම සහ නව තාක්ෂණික උපකරණ යොදා ගැනීමෙන් පිරිපහදු කිරීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මඟින් සැලසුම් කරගෙන යන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    ඒ අනුව දැනට දැවිතෙල් සහ අපද්‍රව්‍ය පිරිපහදු කිරීමෙන් ලැබෙන ආදායම් 100% කින් ඉහළ යන බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය උපුටා දක්වමින් වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන බව ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් පෙන්වා දෙයි.

    නමුත් දැනට පවතින පහසුකම් සහ දැනුම යටතේ නැව්වලින් ඉවත් කරන දැවිතෙල් සහ අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණය කිරීම වසරකට ටොන් 27,000 ත් 30,000 ත් අතර ප්‍රමාණයකට සීමා වී තිබෙන බව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දී තිබෙන්නේ මෙම දැවිතෙල් හා අපද්‍රව්‍යවලින් උපරිම ආකාරයෙන් පරිසරය රැකගෙන ඒවා පිරිපහදු කිරීමේ කටුයුතු සඳහා යොදා ගන්නා ලෙසයි.

    වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රිදර්ශන ද සිල්වා මහතා පසුගිය දා කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටුවා තිබෙන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි කාර්යාලය යටතේ ක්‍රියාත්මක කෙරෙන දැවිතෙල් සහ අපද්‍රව්‍ය පිරිපහදු මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ අවස්ථාවේ දී මෙම තොරතුරු අනාවරණය විය.

    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතේ මේ වන විට ලියාපදිංචි සමාගම් 25 ක් නැව්වලින් ඉවත් කරන දැවිතෙල් සහ අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සිදුකරයි. ඒ වසරකට ලංකාවට පැමිණෙන නැව් 5,000 න් නැව් 2,000 කින් ලැබෙන දැවිතෙල් සහ අපද්‍රව්‍යයි. එම ප්‍රමාණය වසරකට ටොන් 27,000 ත් 35,000 ත් අතර ප්‍රමාණයක පවතී. එය වසරකට ටොන් 50,000 ක් දක්වා ඉහළ දමා ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අපේක්ෂාව වී තිබේ. එම සීමාවට ළඟා වීමෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් නොලැබෙන විශාල ආර්ථික වාසියක් ලබා ගැනීමට ද අවස්ථාව හිමි වේ.

    මෙම නිරීක්ෂණ චාරිකාවේ දී කරුණු රැසක් කෙරෙහි අවධානය යොමුකර තිබේ. ඒ අනුව පහත කරුණු පිළිබඳව ද මූලික අවධානයක් යොමුකර ඇත.

    නැව්වලින් ලැබෙන දැවිතෙල් සහ අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණයක් කිරීමේදී, දැනට ක්‍රියාත්මක කරන ක්‍රමය පිළිබඳ කරුණු විමසීම, එම ක්‍රමයේ පවත්නා අඩුපාඩු, එම ක්‍රමයෙන් ලංකාවේ ආර්ථිකයට අත්වන වාසිය සහ එහි අගය, එම ක්‍රමය ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලබාදෙන දායකත්වය, මේ මොහොතේ ක්‍රියාත්මක වන සේවා දායකයන්ට එමඟින් වැඩිපුර වාසියක් ලැබෙන්නේ ද, මෙමඟින් ලැබෙන දැවිතෙල් ගොඩබිමදී පරිසර දූෂණයකින් තොරව ප්‍රයෝජනයට ගත හැකි ආකාරය, අපද්‍රව්‍ය නිවැරදිව බැහැර කරන ක්‍රමවේද ඇතුළු එම කරුණු සියල්ල නිවැරදිව ඉදිරියට සකස් කරන ආකාරය පිළිබඳව ද පුළුල් වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණ.

    මෙයට අමතරව ප්‍රතිග්‍රහණ සමාගම් සපයන සේවාවන් පිළිබඳ සහ එම ආයතනවලට ඇති ගැටළු, අපහසුතා පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.

    මෙම නිරීක්ෂණ අවස්ථාවට සහභාගි වූ වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙම වැඩපිළිවෙළ මඟින් පරිසරය ආරක්ෂා කර ගැනීම සිදු කිරීම ප්‍රධාන අරමුණ වන බවයි.

    “නිසි ප්‍රමිතියක්, ප්‍රතිපත්තියක්, ක්‍රමයක් නැතුව පරිසරයට අපද්‍රව්‍ය මුදා හැරීමෙන් සිදුවන්නේ විශාල හානියක්. මෙතැනදී අපට ලැබෙන අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කිරීම ඉතා වැදගත්. ඒවා පරිසරයට මුදාහරිනවා නම් පරිසරයට හානියක් නොවන ආකාරයට එය සිදුකළ යුතුයි. ඒ වගේම මෙම කටයුතු වැඩි දියුණු කර දැනට ලැබෙන ආර්ථික වටිනාකම් ඉහළ නංවා ගැනීම සහ එයින් ලබාගත හැකි එහෙත් දැනට නොලැබෙන ආර්ථික වාසි ලබා ගැනීමට කටයුතු කිරීමත් ඒ වගේම ඉතාම වැදගත්.”

    යනුවෙන් ද රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

     

    එම නිරීක්ෂණ අවස්ථාවට සහභාගි වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ඉදිරියේ දී පරිසරය ආරක්ෂා කරගත් වඩාත් හොඳ ආර්ථිකයක් ගොඩනැගීම ප්‍රධාන මුලික අරමුණ වන බවයි.

    “ලියාපදිංචි ආයතනවල වගකීම සහ රාජකාරිය වනුයේ නැව්වලින් ඉවත් කරන දැවිතෙල් සහ අපද්‍රව්‍ය තමන්ගේ ගබඩා සංකීර්ණ තුළට ගෙනවිත් එම තෙල් පිරිපහදු කර නැවත විකිණීම සිදු කිරීමයි. ඒ වගේම එතැනදී ජනනය වන අපද්‍රව්‍ය පරිසරයට හානි නොවන සේ නිසි ක්‍රමවලට ඉවත් කිරීම තමයි එම ආයතනවල වගකීම සහ රාජකාරිය වන්නේ.”

    යනුවෙන් ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කළේය.

    පිරිපහදු කිරීමේ කටයුතු සිදු කරන සමාගම් සමඟ සිදුකළ සාකච්ඡාවේ දී ඔවුන්ගෙන් ඉල්ලීම් කිහිපයක් ඉටුකර දීමට මෙහිදී කැමැත්ත පළ කෙරිණ. ඒ අනුව ලියාපදිංචි සේවාදායකයින්ට ලබාදිය හැකි සියලු පහසුකම් සලසා දීමටත්, පිරිපහදු කිරීමේ නව තාක්ෂණික දැනුම ලබාදීමටත් අවශ්‍ය පියවර ගැනීමට එකඟතාව ද මෙහිදී පළ කෙරිණ.

    මෙම නිරීක්ෂණ අවස්ථාවට වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එල්.එල්.ඒ. විජේසිරි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතීඥ දර්ශනී ලහදපුර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර යන මහත්ම මහත්මීහූ ඇතුළු රාජ්‍ය නිලධාරීහූ පිරිසක් සහභාගි වී සිටියහ.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එල්.එල්.ඒ. විජේසිරි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතීඥ දර්ශනී ලහදපුර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු, ආර්.ඒ.එස්. රණවක යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම කටයුතු සිදු කරනු ලබයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya