මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොස් සහ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ජාතික ව්‍යාපෘතිය ඇරඹේ

    දෙසැම්බර් 07, 2021

    කර්මාන්ත අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් 'කොස් උරුමයක පුනරුදය' නමින් කොස් සහ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ජාතික ව්‍යාපෘතිය අරඹනු ලැබීය.

    මෙම ජාතික ව්‍යාපෘතියෙහි සමාරම්භක උළෙල බත්තරමුල්ල, 'අපේ ගම' පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ; "රටෙහි ආහාර සංස්කෘතිය නිසිමගට ගැනීමේදී කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීම ඊට ඉමහත් රුකුලක් වන බව ය. අද බහුජාතික සමාගම්වල වස විස සහිත පරිභෝජන ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමෙහි යෙදෙන, ඒවායේ සන්නාම තානාපතිවරුන් ලෙස පෙනී සිටින නළු නිළියන්, ජනප්‍රිය ක්‍රීඩකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් දැකගත හැකි බවත් සමාජයට බලපෑමක් කළ හැකි එවැනි ප්‍රසිද්ධ පිරිස් අගය එකතු කළ, කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුවහොත් එය රටට මෙන්ම ඔවුන්ට ද මහත් ඵල, මහානිසංස ලැබෙන කර්තව්‍යයක් වනු ඇති බවත් "අමාත්‍යවරයා සඳහන් කළේය.
    එසේම වර්තමානයේ මෙරට රූපවාහිනී නාලිකාවල උදය වරුවේ විකාශයන් 'දරුවන් මරන - මව්වරුන් පිස්සු වට්ටන' වරුවක් වී ඇති බවත් එම වරුවෙන් එක් පැයක් හෝ මෙරට ආහාර සංස්කෘතිය නිසි මගට ගැනීම අරමුණු කරගත් කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීම වෙනුවෙන් යෙදවීමට, හැකි නම් ඉදිරිපත් වන්නැයි අමාත්‍යවරයා මෙරට රූපවාහිනී නාලිකාවලින් ඉල්ලා සිටියේය. කොස් ආශ්‍රිත පර්යේෂණ රැසක නියැලෙමින් කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ අනගි මෙහෙවරක යෙදී සිටින මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුගත් රෝහිත මහතා ද මෙහිදී සමාරම්භක උළෙල ඇමතූ අතර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා ද අදහස් දැක්වීය.

    'කොස් උරුමයක පුනරුදය' තේමා ගීතය එළි දැක්වීම, 'KOS Heritage' නමින් ෆේස්බුක් පිටුවක් සහ යූ ටියුබ් චැනලයක් එළි දැක්වීම හා ව්‍යාපෘතියෙහි 'ඉදිරි දැක්ම' ඇතුළත් සමරු කලාපය අමාත්‍ය විමල් වීරවංශ මහතාට පිළිගැන්වීම මෙහිදී සිදු විය. එසේම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සිය සම්පත් දායකත්වය ලබා දෙන විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු අනෙකුත් පිරිසට තිළිණ හා සහතික පත් ප්‍රදානය සහ කොස් පැළ සංකේතාත්මකව බෙදාදීම අමාත්‍යවරයා අතින් සිදුවිය. දැනටමත් අගය එකතු කළ, කොස් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ නියැලී සිටින ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් නිෂ්පාදන ප්‍රදර්ශනයක් ද මෙහි සංවිධානය කොට තිබිණි.

    වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya