මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් ජනපති හමුවෙයි

    නොවැම්බර් 23, 2021

    රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් නිකොලායි පට්රුශෙව් (Nikolai Patrushev) මහතා (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.

    සෝවියට් සමාජවාදී ජනරජයේ රාජ්‍ය බුද්ධි සේවයේ (KGB) සහ රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවයේ දීර්ඝ අත්දැකීම් රැසක් සහිත නිකොලායි පට්රුශෙව් මහතා 2008 වසරේ සිට රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

    ශ්‍රී ලංකා සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතාවට 2022 පෙබරවාරි 19 වන දිනට 65 වසරක් සපිරේ. නිකොලායි මහතාගේ මෙම සංචාරය මගින් දෙරට අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් කෙරෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    නිකොලායි මහතා මෙරටට රැගෙන ආ ස්පුට්නික් එන්නත් මාත්‍ර 5,000ක ප්‍රදානය හා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට රුසියාව ලබාදුන් සහායත්, කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රුසියානු ජාතිකයින් 49,379 දෙනෙකු පසුගිය වසරේ මෙරට සංචාරය කිරීම පිළිබඳ ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කළේය.

    රුසියානු ජීඑස්පී (GSP) ක්‍රමය යටතේ සිදුකරන අපනයන නිෂ්පාදන පුළුල් කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වේ. කොළඹ වරාය නගරය, බලශක්ති, ඖෂධ නිෂ්පාදන, තොරුතුරු තාක්ෂණ, කෘෂිකර්මාන්ත සහ යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට රුසියානු ආයෝජකයන්ට ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස, දියුණු වෙමින් පවතින රටවල සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් රුසියාව වෙත ප්‍රශංසාව පළ කළ ජනාධිපතිතුමා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල් සැසිවාරයන්වලදී ශ්‍රී ලංකාවට ලබාදුන් දැඩි සහයෝගයට කෘතඥතාව පළ කළේය.

    ත්‍රස්තවාදයට එරෙහි ලංකාවේ සටනේ දී රුසියාව ඉමහත් සහයෝගයක් දක්වන ලදි. බුද්ධි තොරතුරු හුවමාරුව, ත්‍රස්තවාදී කටයුතු වෙනුවෙන් සිදුකරන මුදල් යෙදවීම් නැවැත්වීම ඇතුළුව අන්තවාදී, ත්‍රස්තවාදී සහ සයිබර් තර්ජන කටයුතු නැවැත්වීම වෙනුවෙන් දෙරට අතර සහයෝගය තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපතිතුමා නිකොලායි පට්රුශෙව් මහතා සමග පැවසීය.

    මෙරට රුසියානු තානාපති යූරි මටෙරි (Yury Materiy), රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම්වරුන් වන ඇලෙක්සැන්ඩර් වෙනෙඩික්ටොව් (Aleksander Venediktov), ඕලෙග් ක්රාමොව් (Oleg Khramov), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු සහ රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිහු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya