අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර අයවැය ඉතිහාසය සමග සංසන්දනය නොකොට වත්මන් අභියෝග සමග සංසන්දය කරන්න- ජනමාධ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 19, 2021

    මෙවර අයවැය ඉතිහාසය සමග සංසන්දනය නොකොට වත්මන් අභියෝග සමග සංසන්දය කරන්නැයි තමා ඉල්ලා සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    ඇමැතිවරයා එසේ පැවසුවේ,විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිණි.

    ආකල්පමය සහ සාමාජීය වශයෙන් වෙනසක් ඇති කරලීමට මෙවර ඉදිරිපත්කළ අයවැයෙන් අවස්ථාව ලැබුණු බව ද අමාත්‍යවරයා කීය. දින 05ක් තිස්සේ සිදු කරන මෙම අයවැය විවාදයේ දී වැඩි වශයෙන් සාකච්ඡා නොවුණු ක්ෂේත්‍ර වන අධ්‍යාපනය සහ අධිකරණය යන ක්ෂේත්‍ර නගාසිටුවිම සඳහා මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු වී තිබේ. වසංගතය හමුවේ බරපතලම පාඩුව වූ, අධ්‍යාපන ක්ෂේත්‍රය නගාසිටුවීමට මෙවර අයවැයෙන් රුපියල් බිලියන 30කට වැඩි මුදලක් වෙන් කර තිබේ. වසර 24ක් පුරා පැවත එන ගුරු වැටුප් ගැටළුව විසඳීම වෙනුවෙන් සහ ගුරු සේවයේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් අයවැයෙන් මෙතරම් මුදලක් වෙන් කිරීම තමා අගය කරන බවද අමාත්‍යවරයා කීය‍.

    අධ්‍යාපනය අහිමි වීම යනු සංස්කෘතික සහ ශිෂ්ඨාචාරයක දෙරගුළු වැසීමක් බඳුය. එබැවින් ප්‍රතිපත්ති සම්පාදකයන් වශයෙන් රජය මේ සම්බන්ධයෙන් අවබෝධ කර ගතයුතුය. නැවත මෙවන් ගැටළුවක් ඇති නොවීමට ස්ථිර විසඳුමක් ලබා දිය යුතු යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුහුණු, නුපුහුණු ගුරුවරු වශයෙන් ගුරුවරු වර්ග දෙකක් සිටිනවා. ගුරුවරුන්ගේ මෙම විෂමතාවය පැහැදිළිවම වෙනස් කළ යුතුයි. මෙම ගැටළුව විසඳීමට මුදල් වෙන් කිරීම භාණ්ඩ සහ සේවා වලට එහා ගිය අනාගත ආයෝජනයක්. එය දරුවන් වෙනුවෙන් කරන ආයෝජනයක්. වසර 2027 වන විට සියළුම ගුරුවරු පුහුණු උපාධිධාරී ගුරුවරු බවට පත් කළ යුතුයි. මෙරට තිබෙන ගුරු විද්‍යා පීඨ 19 ලබන අයවැයෙන් විශ්වවිද්‍යාල බවට පත් කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බවද අමාත්‍යවරයා කීය‍.

    රටේ පාසල් දරුවන් මිලියන 4කට වැඩි වුවත් අන්තර්ජාලය පවතින්නේ මිලියන 1.4ක් වැනි ප්‍රමාණයකට බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙවර අයවැයෙන් සම්ප්‍රේෂණ කුළුණු 98ක් සහ සෑම පාසලකටම බ්‍රෝඩ් බෑන්ඩ් පහසුකම් ලබා දීම සම්බන්ධයෙන්ද සඳහන් කළේය. දුරස්ථ ඔන්ලයින් අධ්‍යාපනය අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා , වසංගතය හමුවේ නව මානයකට රට විවෘත වූ බව ද කීය. අසීරු අවස්ථාවේ ලැබුණු ඔන්ලයින් අධ්‍යාපනය අපේ රටේ අධ්‍යාපනයට ලැබුණු එන්නතක් බවද කීය.

    අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී සදහන් කළේය. උසාවි, විනිසුරුවරු සැළකිය යුතු අන්දමින් වැඩි කර තිබීම ඵලදායි බවද කීය. අධිකරණයේ කාර්යක්ෂමතාව රටේ සංවර්ධනය මනින එක සාධකයක් බවද කීය‍. අයවැයකදී සිරකරුවා කෙරෙහි අවධානය යොමු නොවන බවත් එහෙත් සිරකරුවන් ද මිනිසුන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා සිරකරුවෝද මනුෂ්‍යෙයෝ යන්න බිත්තියට පමණක් සීමා නොවූ බවද කීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ;

    "රටක් වශයෙන් අපි කොතනද ඉන්නේ කියා තේරුම් ගැනීම වැදගත්. රටක ජාත්‍යන්තර තත්ත්වය පිළිගන්නා එක් දෙයක් තමයි පාස්පෝට් ශ්‍රේණිගත කිරීම. ලෝකයේ විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම අනුව අපේ රට තිබෙන්නේ පහළම සියයට දහය අතරේයි. වීසා නොමැතිව අපේ රටේ පුද්ගලයකුට සංචාරය කළ හැක්කේ රටවල් 41ක පමණයි. ඉන් සංවර්ධනය වූ රටකට ඇත්තේ සිංගප්පූරුව පමණි. අනෙක් කිසිදු සංවර්ධිත රටකට වීසා නොමැතිව ශ්‍රී ලාංකිකයන්ට යන්න බැහැ.පාස්පෝට් ශ්‍රේණිගත කිරීමෙන් මුලට පැමිණ තිබෙන්නේ ජපානය, සිංගප්පූරුව,දකුණු අප්‍රිකාව කියන ආසියානු රටවල්. අද කොරියාවේ පාස්පෝට් එකෙනුත් ලෝකයේ ඕන රටකට වීසා නැතිව යන්න පුළුවන්."

    අයවැයක් කියූ සැනින් සිහියට එන්නේ භෞතික දේවල් බවත් එහෙත් එතනින් එහාට ගිය දේවල් මෙවර අයවැය තුළ ගැබ්ව තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තරුණ නැගිටීම්,උතුරු නැගෙනහිර යුද්ධය සහ සුනාමියට පසු අපේ රට මුහුණ දුන් දැවැන්ත ව්‍යසනයට කොවිඩ් වසංගතය හමුවේ රට මුහුණ දී ඇති බවත් එවන් මොහොතක අගුළු වැටුණු ආර්ථිකයක්, ඔත්පල වෙච්ච අධ්‍යාපනයක් යටතේ මෙවර අයවැය ඉදිරිපත් කිරීමට සිදු වූ බව අමාත්‍යවරයා පැවසීය. එහි අඩුපාඩු ඇත්නම් එය විවේචනය කළ හැකි බවත් එහෙත් මෙම දුෂ්කරතාව අවබෝධකරගෙන් ඉතිහාසය සමග සංසන්දනය නොකර වත්මන් තත්ත්වය සමග සංසන්දනය කරන්නැයිද ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya