අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සන්නාමය සහිත වාහන ගමන් කරන අනාගතයක් කරා පා තැබිය හැකියි

    ඔක්තෝබර් 28, 2021

    සම්මත මෙහෙයුම් පටිපාටිය(SOP) හඳුන්වාදීමත් සමග මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින ආයතන දේශීය අගය එකතු කිරීම ඉහළ දමමින් සිටින බවත් ඉන් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ අපිට වාහන නිපදවීමේ කර්මාන්තය කළ නොහැක්කක් නොවන බවත් අප ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින්නේ ඒ දෙසට බවත් යයි පෙන්වා දුන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා පා තැබීමට අපට හැකියාව ඇති බවට විශ්වාසය පළ කළේය.

    මහින්ද්‍රා අයිඩියල් ලංකා ආයතනය සිය මතුගම වැලිපැන්න පිහිටි වාහන එකලස් කිරීමේ අංගණයේදී 30%ක දේශීය අගය එකතු කිරීමක් සහිතව, පළමුවරට දේශීයව එකලස් කරන ලද Bolero City Pik Up රථය වෙළඳපොළට හඳුන්වාදීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය වීරවංශ මහතා

    "කර්මාන්ත අමාත්‍යංශය අපි භාර ගත්තාට පසුව අමාත්‍යාංශයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ ද කැපවීමෙන් ඉතාම කෙටි කාලයක් තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයට අදාළ සම්මත මෙහෙයුම් පටිපාටිය(SOP) සකසා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර එයට පූර්ණ අනුමැතිය ලබා ගැනීමට හැකිවුණා. එම සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීම මගින් අපි බලාපොරොත්තු වුණේ දේශීය වශයෙන් වාහන නිපදවීමේ ප්‍රවණතාව, එහෙම නැතිනම් දේශීය වශයෙන් අගය වැඩි වැඩියෙන් එකතු කරමින් වාහන එකලස් කිරීමේ කර්මාන්තය ඉතාමත් ප්‍රබල ඉදිරි ගමනක් කරා රැගෙන යන්න. ඒ වනවිට රජය රට තුළ පැවැති ආර්ථිකමය විශේෂ හේතු මත වාහන ආනයනය නතර කර තිබුණා. ඒ නිසාම මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ යෙදී සිටි අයට මෙන්ම යෙදී නොසිටි අයට මෙම ක්ෂේත්‍රය කරා අවතීර්ණ වන්න එයත් එක්තරා ආකාරයක අපේක්ෂා නොකළ උත්තේජනයක් වුණා.

    සම්මත මෙහෙයුම් පටිපාටිය මගින් අපි සිදු කළේ මෙරට වාහන නිෂ්පාදන කර්මාන්තයට අදාළ නීතිරීති නිසි පරිදි සකසා දීමයි. එහෙම නැතිව එක් අයෙකුට එක විදිහක් තවත් අයෙකුට තවත් විදිහක් ලෙස නොවෙයි. එසේ නීතිරීති සකසා දුන්නාම මෙම කර්මාන්තයට පිවිසෙන ඕනෑම අයෙකු දන්නවා, තමන් දේශීය වශයෙන් අගය එකතු කරන ප්‍රමාණයට, බදු සහන කුමන මට්ටම්වලින්, කුමන ආකාරයට ද ලැබෙන්නේ, කියා. සම්මත මෙහෙයුම් පටිපාටිය හඳුන්වා දුන්නාට පසුව අපේ හිතවත් නලින් වෙල්ගම මැතිතුමාගේ මහින්ද්‍රා අයිඩියල් ලංකා ආයතනය වගේම වෙනත් වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටි ආයතන කලින්ට වඩා ඉහළ දේශීය වශයෙන් අගය එකතු කිරීමකට ගමන් කරන්න පටන් ගත්තා. ඒ සමගම අපේ රටේ වාහන උපාංග නිෂ්පාදන කර්මාන්තය ඇතුළු කර්මාන්තවල නියැලී සිටි පිරිසට මෙම කටයුත්තට දායක වීමට අවස්ථාව ලැබුණා.

    අද මේ එළිදක්වනු ලබන Bolero City Pik Up රථය ගත්තත් සියයට 30ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක දේශීය අගය එකතු කිරීමක් සිදු කර තිබෙනවා. එමගින් දේශීය වශයෙන් වාහන උපාංග නිපදවන පිරිසට ඔවුන්ගේ ආදායම් වැඩි කර ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම අපේ තරුණ දරුවන්ට ඔවුන්ගේ තාක්ෂණික දැනුම මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්තයට එකතු කිරීමට ද හැකිවී තිබෙනවා. ඒ ආකාරයට විශාල පිරිසකට මෙමගින් ප්‍රතිලාභ රැසක් ලැබෙන තත්ත්වයක් උදාවී තිබෙනවා.

    ඒ නිසා ශ්‍රී ලංකාවේ අපට වාහන නිපදවීමේ කර්මාන්තය කළ නොහැක්කක් නොවෙයි. අපි ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින්නේ ඒ දෙසට. මම හිතනවා මේ ආයතනයට ලබන අවුරුද්ද වනවිට මීටත් වඩා දේශීය අගය එකතු කිරීමක් සිදු කරන්න පුළුවන්කම තිබෙනවා, කියා. එමගින් දේශීය වශයෙන් නිපදවනු ලැබූ 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා ගමන් කිරීමට අපට පුළුවන් වේවි, කියන විශ්වාසය අපට තිබෙනවා. සම්මත මෙහෙයුම් පටිපාටියෙහි පවතින සුළු සුළු අඩුපාඩු නිවැරදි කරලා, විශේෂයෙන් අන්තර්ජාතික මට්ටමේ ආයෝජකයන්ට මේ ක්ෂේත්‍රයේ ආයෝජනයන් කිරීමට අවශ්‍ය වාතාවරණය, පහසුකම් තව තවත් දිරි ගැන්වෙන ආකාරයට සකස් කර දෙන්නත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා."

    මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, උප සභාපති අරවින්ද ද සිල්වා, අධ්‍යක්ෂ චමින්ද වනිගරත්න යන මහත්වරු ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya