මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක වෙළෙඳපොළේ යම් මිළ අඩු කිරීමක් සිදු කළහොත් එයට සාපේක්ෂව භාණ්ඩ වල මිළ අඩු කිරීමක් සිදු කළ යුතුයි

    ඔක්තෝබර් 11, 2021

    පසුගිය මාස 6කට ආසන්න කාලසීමාවේදී ලෝක වෙළඳපොළේ මෙම භාණ්ඩවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර රජය එම මිල වැඩිවීම ජනතාව වෙත ලබා නොදීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලැබූ අතර විශේෂයෙන්ම අය කරන බදු අඩුකරමින් මිල පෙර තත්වයෙන් පවත්වාගෙන යාම සඳහා කටයුතු කර ඇති බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

    කිපිටි , තිරිඟුපිටි , සිමෙන්ති සහ ගෑස් සඳහා පාරිභෝගික සේවා අධිකාරිය පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට පසුගිය 07වැනිදා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය අතර පැවති විශේෂ සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

    තිරිඟු පිටි සඳහා රුපියල් 87ක් ලෙස පාලන මිල පනවන ලද්දදේ 2016.07.01 වැනි දින වන අතර ඒවන විට ඩොලරයක අගය පැවතියේ රුපියල් 145ක අගයකය.කිරිපිටි කිලෝග්‍රෑමයක් සහ ග්‍රෑම් 400 සඳහා 2019.12.04 වැනි දින රුපියල් 945ක් සහ රුපියල් 380ක් වූ පාලන මිල පනවන විට ඩොලරය පැවතියේ රුපියල් 183ක මට්ටමේ වේ.

    තවද සිමෙන්ති කොට්ටයක් සඳහාරුපියල් 1005ක පාලන මිල පනවන ලද්දේ 2019.12.27 වැනි දින වන අතර ඒ වන විට ඩොලරය රුපියල් 183ක් පැවතිණි.එසේම කිලෝග්‍රෑම් 12.5ක ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා පාලන මිල පනවන ලද්දේ 2019.10.04 වැනි දින වන අතර 2021.08.12 වැනි දින කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා රුපියල් 1896ක පාලන මිලක් නියම කෙරිණි.

    පාලන මිල ඉවත් කිරීමෙන් අනතුරුව ආනයනික කීරිපිටිවල මිල ඉහළ නැංවීමට කිරිපිටි ආනයනනරුවන් පියවර ගෙන ඇත.ඒ අනුව ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100කින්ද කිලෝ ග්‍රෑම් ඒකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250කින්ද මිල ඉහළ යනු ඇති අතර කිරිපිටි පැකට්ටුවල යෝජිත නව මිල ගණන් වන්නේ ග්‍රෑම් 400ක පැකට්ටුව රුපියල් 480ක් සහ කිලෝග්‍රෑම් එකක පැකට්ටුව රුපියල් 1195ක් වශයෙනි.

    කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පසුගිය මාස 6ක කාලයේ සිට මෙම සමාගම් අධික පාඩු ලැබීමේ තත්වයකට මුහුණ දී සිටි බැවින් මෙම මිල වැඩිවීම ඉල්ලා සිටි බවයි.

    සිය පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීම ඔවුන්ගේ අරමුණ බව පෙන්වා දෙන ඒ මහතා තමන් ඉල්ලා සිටි මිලට වඩා අඩු මුදලක් තීරණය කර ඇති බවත් පැවසීය.ඒ අනුව දේශීය දියරකිරි නිෂ්පාදකයන්ද සිය නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ, කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවෙන් සකස් කළ හැකි කිරි කෝප්ප ප්‍රමාණය දියර කිරිවලින් සකස් කිරීමට වැය වන්නේ රුපියල් 500ක පමණ මුදලක් බවයි. රජය මිල පාලනය ඉවත් කිරීම තුළ දේශීය කිරි ගොවියා ඉහළ නැංවීමට හැකිවනු ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

    ලෝක වෙළඳපොළේ අද කීරිපිටි මෙට්‍රික්ටොන් එකක ඩොලර් 3749ක් වන බවත් ඊට සාපේක්ෂව ලංකාවේ කිරිපිටි මිල තීරණය කරන බවත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පැවසීය.රටේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට කිරි ගොවියාට සාධාරණ මිලක් ලබා දීමට කටයුතු කළ යුතු බැවින් දේශීය දියරකිරිවල මිල කිසියම් ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.

    කිරිපිටි,තිරිඟුපිටි ගෑස් සහ සිමෙන්ති සමාගම් නියෝජිතයන් සහ විෂය භාර අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතර සාකච්ඡාවක් පැවති අතර එහිදී මෙම භාණ්ඩවල මිල ඉහළ දැමීමට අවසර ලබා දී ඇත. විශේෂයෙන්ම යම් සමාගමක් විසින් මෙම ලබා දී තිබෙන නිදහසින් අයුතු ප්‍රයෝජන ගෙන අසාධාරණ ලෙස මිළ වැඩි කිරීමක් සිදු කළහොත් නැවත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් මිළ පාලනය කිරීමට සිදුවන බව අමාත්‍යවරයා එම සමාගම්වලට දැනුම් දී ඇත.

    තවදුරටත් ඉතා කඩිනමින් භාණ්ඩ නිෂ්පාදනය වැඩි කොට භාණ්ඩ සුලභ කිරීමට කටයුතු කරන ලෙස ද ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ යම් මිළ අඩු කිරීමක් සිදු කළහොත් එයට සාපේක්ෂව භාණ්ඩ වල මිළ අඩු කිරීමක් සිදු කළ යුතු බව ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

    රාජ්‍ය වාණීජ විවිධ නීතිගත සංස්ථාව හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ඉදිරියේදී ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.ආනයනය කළ සහල් තොග ලැබෙන බවත් ඉදිරියේදී පිළිවෙළින් සතොස , සමුපකාර සහ සුපිරිවෙළඳසැල් ජාලා මගින් රුපියල් සියයට වඩා අඩු මුදලකට ස්ථිර වශයෙන් සහල් ලබා ගත හැකි වන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya