මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහසට කරුණු කියන්නේ නැහැ- එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්න- ජනපති කියයි.

    ඔක්තෝබර් 10, 2021

     

    72 වන යුද හමුදා දිනය සැමරේ...

    නිදහසට කරුණු කියන්නේ නැහැ. එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්න.. ජනපති කියයි.

    නිදහසට කරුණු කියන්නේ නැහැ. එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලා සිටී.

    කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය පහළ බැසීමට ලක්විණ. එහෙත් අදාළ කාලසීමාව තුළදී විශාල වැඩ කොටසක් ජනතාව වෙනුවෙන් සිදු කර ඇත. ලෝකයේ හමුදාවන්, යුද්ධයට පමණක් නොව ජාතිය ගොඩනැගීමටත් කැප වී සිටිති.
    අපේ ත්‍රිවිධ හමුදාව නිරෝධායනයේ දී සහ එන්නත්කරණයේ දී සෞඛ්‍ය අංශවලට සහාය වෙමින් කොවිඩ් පාලනයට එක්විය. ඒ සඳහා කළ කැපකිරීමට සියලු දෙනාට තම ස්තූතිය පළ කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
    අද (10) දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති සම්මාන පෙළපාලිය පිළිගනිමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.


    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනතට අනුව ස්ථාපිත කෙරිණි. රටේ ආරක්ෂාව උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පාබල, ආධාරක සහ සේවා රෙජිමේන්තු 25කින් සමන්විත වේ.

    සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සංවිධාන කෙරුණු යුද හමුදා සැමරුම් උළෙලට පැමිණි ජනාධිපතිතුමා සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුරේ අභිනවයෙන් ඉදිකෙරුණු සරඹ භූමිය විවෘත කර රණවිරු අයිතියට පත් කළේය.

    අනතුරුව ජනාධිපතිතුමා උත්තමාචාර පෙළපාලිය නිරීක්ෂණය කළේය. ත්‍රිවිධ හමුදාවේ සහ බුද්ධි අංශවල මානසිකත්වය ඉහළ නංවාලමින්, රාජකාරී බලතල නිසි අයුරින් පවරමින් පසුගිය දෙවසර තුළ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී කටයුතු කෙරිණ. නැවතත් ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදී ක්‍රියාවන් ඇති නොවන ආකාරයෙන් රට ආරක්ෂා කරගැනීමට කැපවී සිටින බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ජනතාවට පොරොන්දු වූ ආකාරයට නව ව්‍යවස්ථාවක් සහ නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පැවසීය. දූෂණයට, වංචාවට ඉඩ නොතබන අතර ඒ සඳහා කැපවෙමින් සියලුම නිලධාරීන් ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    සැමරුම් උළෙල ඇමතීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ ඇති මේජර් ජෙනරාල් විජය විමලරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වූ ජනාධිපතිතුමා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත විය. ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නව පරිපාලන ගොඩනැඟිල්ල හා ක්‍රීඩාංගණය විවෘත කිරීම, ක්‍රීඩාගාරය සඳහා මුල්ගල තැබීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. කණිෂ්ඨ හා බලලත් නිලධාරීන්ගේ නිවස්නයන් සහ ගජබා රෙජිමේන්තුවේ ඉංජිනේරු බලකාය විසින් අලුත්වැඩියා කර, ධාවනයට එක්කළ හමුදා රථ ජනාධිපතිතුමා නිරීක්ෂණය කරනු ලැබීය.


    ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සිදුකළ සංචාරය සනිටුහන් කරමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිරිනැමීය. ආරාධිතයන් සඳහා වූ සමරු සටහන් පොතෙහි අත්සන් තැබූ ජනාධිපතිතුමා ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සිදුකළ සංචාරය සනිටුහන් කරමින් පැළයක් රෝපණය කළේය.


    ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදා ප්‍රධානීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya