මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා තැපැල් සේවාවේ අඛණ්ඩ පැවැත්මට නව්‍යකරණය අත්‍යවශ්‍ය සාධකයක්- අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

    ඔක්තෝබර් 09, 2021

    ශ්‍රී ලංකා තැපැල් සේවාව වර්තමාන තරගකාරී වෙළෙඳපොලට මෙන්ම ඉතා කාර්ය බහුල පාරිභෝගික ජීවින රටාවට සහ නූතන අවශ්‍යතාවලට අනුව අනුවර්තනය වී ඊට ගැලපෙන පරිදි නව්‍යකරණයට සහ නවෝත්පාදනයට ලක්විය යුතුයැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ , අද (09) තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති 147 වන ලෝක තැපැල් දින 52 වන සැමරුම් උත්සවයට සහභාගී වෙමිනි. මෙවර ලෝක තැපැල් දින තේමාව “නවෝත්පාදනය තුළින් ප්‍රතිසාධනය” යන්නයි. 1969 වස‍රේ තෝකියෝහි පැවැති 18 වන සමුළුවට ඉන්දියාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ආනන්ද් මොහාන් අරුල් මහතා ගෙන ආ යෝජනාව සම්මතවීමෙන් අනතුරුව එතැන් පටන් ඔක්තෝබර් 09 දින ලෝක තැපැල් දිනය ලෙස නම් කර ඇත.

    ජනසමාජයක් පවත්වාගෙනයාමට තැපැල් සේවකයා දක්වන දායකත්වය අසම සමයැයි කී අමාත්‍යවරයා තැපැල් සේවයේ පැවැත්ම සහ සේවාවට නිසි ගෞරවය ලැබෙන්නේ වෙනස් වන සමාජ අවශ්‍යතාවන්ට අනුකූලව වෙනස්වෙමින්, ජනසමාජයත් සමග ඉදිරියට ගමන් කළහොත් පමණක් බව ද කීවේය. ඒ සඳහා දැනට නියෝජිත සේවා සපයන ආයතනවලට අමතරව ශ්‍රී ලංකාව ඇතුලත මෙන්ම ජාත්‍යන්තරය මට්ටමෙන් විශිෂ්ට සේවා සපයන ආයතන සමග ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව අතිනත ගෙන ක්‍රියාකළ යුතු බවද කියා සිටියේය. එවැනි වෙනසකට සූදානමක් නැතුව සමරණ ලෝක තැපැල් දිනය අර්ථ ශූන්‍යය, නාමමාත්‍රික හා ගතානුගතික ක්‍රියාවකට පමණක් සීමාවන බවත් එමගින් සක්‍රීය, පළදායීතාවක් රටට අත්නොවන බවත් කීවේය.

    එබැවින් “පණිවිඩකරුවන් වූ අපට නියම වූ බෙදා හැරීමේ වටය අප්‍රමාදව, සම්පූර්ණ කිරීම වළක්වාලීමට ත්‍රස්තවාදයටවත්, සුනාමියටවත්, කුමන ස්වභාවික උපද්‍රවයකටවත්, වසංගත තත්වයකටවත් නොහැකි බව ලෝකයා හමුවේ නැවතත් නැවත නැවතත් අපි සපථ කර ගනිමු.” යන ඒකායන අභිප්‍රේතාර්ථයෙන් කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගන්නා ලෙස සියලුම තැපැල් සේවකයන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

    “ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 115ක් වුවත් ශ්‍රී ලංකාවේ තැපැල් සේවාව ස්ථාපිත වෙලා වසර 223ක් සම්පූර්ණ වෙනවා. වර්ෂ 1798දී එවකට ලංකාවට පැමිණි ඕලන්ද ජාතිකයන් ඔවුන්ගේ පාලනයට නතුකරගෙන සිටි වෙරළ බඩ ප්‍රදේශවල තැපැල් කාර්යාල 05 ක් පිහිටවූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. 1799දී ඔවුන් තැපැල් රෙගුලාසි සහ තැපැල් ගාස්තු වරිපනම් ප්‍රකාශයට පත් කළා. එවක ඕලන්ද නැගෙනහිර ඉන්දීයානු සමාගම් විසින් තැපැල් සේවය ක්‍රියාත්මක කළ නමුත් එය නිල රාජකාරි කටයුතුවලට පමණක් සීමා වුණා. මහජනතාවට විවෘත වුනේ නෑ. දැනට ලෝකයේ ඉතිරිව තිබෙන පැරණිතම තැපැල් නෂ්ඨාවශේෂයක් වසර 2300කට පෙර ඊජිප්තුවෙන් හමුවූ බව දැක්වෙනවා. නමුත් මුල් වරට තැපැල් ක්‍රමයක් ආරම්භ වුනේ වසර 2500 කට පෙර පුරාතන පර්සියාවේ. එවක එහි පාලකයා වූ මහා සයිරස් රජු තම රාජධානියේ ප්‍රාන්ත සියල්ලන්ටම නියම කලා රට වැසියන්ට තැපැල් භාරගැනීමට මෙන්ම තැපැල් භාරදීමටම ක්‍රියාවලියක් සංවිධානය කරන ලෙස. ඉන් නොනැවතී ඔහු අසල්වැසි රාජ්‍යයන් සමග ද සාකච්ඡා කර එකඟතාවක් ඇතිකර ගත්තා තම රාජධානියේ මෙන්ම තැපැල් සේවාවක් ඔවුන්ගේ රාජධානිවලත් ක්‍රියාත්මක කරන්න. ඔහු ඒ වෙනුවෙන් මංමාවත් පවා හැදුවා. මේල් යන වචනය මධ්‍යතන ඉංග්‍රීසි භාෂාවෙන් බිඳී ආවක්. එහි අන්තර්ගත වුනේ ට්‍රැවලින් බෑග් නැත්තම් පැක් එකක්. 14 වන ශතවර්ෂයේදී මේල් යන වචනය ලියුම් පිරුණු මල්ලක් හඳුන්වන්න භාවිතා කළා. පසුව ගෙවී ගිය ශත වර්ෂවල මේල් කියන වචනය ලියුම්වලටත් මේල් බෑග් කියන වචනය ලියුම් මල්ල කියන වචනයටත් භාවිතා කරන්න ජනතාව පුරුදු වුණා”, ලෝකයේ හා ශ්‍රී ලංකා ඉතිහාසය සංෂිප්තව සඳහන් කරමින් ඇමතිවරයා පැවසීය.

    මිනිසාගේ දියුණුවට පණිවුඩ හුවමාරුව ඉතාම වැදගත් බව අවිවාදිත සත්‍යයක් බව කියා සිටි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දියුණු ශිෂ්ඨාචාරයක පැවැත්ම දියුණු සන්නිවේදනයක් මත පවතින බවත් කීවේය. පණිවුඩ හුවමරුව සඳහා තැපැල් සේවාව යොදා ගැනීම සහශ්‍ර ගණනාවක් ඔස්සේ පරිණාමය වෙමින් අදටත් නොනැසී පවතින සේවාවක් බවට පත්ව ඇති බව පැවසු අමාත්‍යවරයා තාක්ෂණයේ සහ ප්‍රවාහනයේ දියුණූව නැතිනම් තැපැල් සේවාවට විවිධ අභියෝගවලට මුහුණපෑමට සිදුවන බවත් කීවේය.

    “සන්නිවේදන ක්ෂේත්‍රයේ දියුණුව තැපෑලට දැඩි අභියෝග එල්ල කළා. දරුණුම අභියෝගය වුණේ ඊමේල්. ඊමේල් කොතරම් සීඝ්‍රගාමී වුණාද කිව්වොත් තැපැල් සේවය ගොළුබෙලි ගමනක් ලෙස හඳුන්වන්න පටන් ගත්තා. විශේෂයෙන් වෙඩි අඩවි හරහා භාවිත කළ හැකි ඊමේල් ආරම්භ වෙලා දැනට වසර 30කට ආසන්න කාලයක් ගතවී තිබෙනවා. නමුත් අපේ රටේ තැපැල් කාර්යාල 4112ක් දසදහස්
    ගණනක් තැපැල් සේවකයන් ජනතාවගේ ජීවිතවල වැදගත්ම ලියවිලි හුවමරු කරදීමේ උත්තරීතර කාර්යයයේ නියළී සිටිනවා.”
    ලොව විශාලම තැපැල් සේවාව ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවේය. කොවිඩ් වසංගත සමයේ රට වසා තිබූ කාලය තුළ ජනතාවට අවශ්‍ය ඖෂධ ප්‍රවාහනය කිරීමේදී ඉන්දියන් තැපැල්සේවාව ඉදිරියට පැමිණ ඇත. ශ්‍රී ලංකාවේ ද එවැනි ක්‍රියාවන් සඳහා තැපෑල යොදා ගැනීමට හැකීවී තිබීම සතුටට කරුණක් බව අමත්‍යවරයා කීවේය.

    ලෝකයේ තැපැල් සේවාව ගුණාත්මකභාවය අනුව ශ්‍රේණිගත කෙරේ. එක්සත් ජාතීන්ගේ අනුසංවිධානයක් වන විශ්ව තැපැල් සංගමය (Universal postal Union) රටවල් 170ක් පාදක කොටගෙන එය සිදුකරයි. තැපැල් සේවාවෙහි ගුණාත්මකභාවය මැනීම සඳහා විශ්වසනීයභාවය, පැතිරීම, අදාළතාවය හා ඔරොත්තුදීමේ හැකියාව යන අංශ 04 කෙරෙහි අවධානය යොමු කෙරේ. එම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ප්‍රථම ස්ථානයේ සිටින්නේ ස්විට්සර්ලන්තයයි. දෙවන ස්ථානය ඔස්ට්‍රියාවටත් තෙවන ස්ථාන ජර්මනියටත් ලැබී ඇත. මෙම රටවල් අධිසංවර්ධිත රටවල්විම විශේෂත්වයකි. තැපැල් ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවට හිමි ස්ථානය 2022 වර්ෂයේ පැවැත්වීමට නියමිත 53 වැනි ලෝක තැපැල් සමරුම් උත්සවයේදී ආඩම්බරයෙන් ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි සියලු දෙනා එකමුතුව කටයුතු කරන්නැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා තැපැල් සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය.
    මධ්‍ය තැපැල් හුවමාරුවේ තැපැල් සහායක පත්වීම් ලිපි ප්‍රදානය සහ නියෝජිත සේවා සපයන ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, වෙස්ටර්න් යුනියන් ආයතනය, ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ආයතනය, සමූපකාර රක්ෂණ සංස්ථාව, සෙලින්කෝ රක්ෂණ සංස්ථාව, සොෆ්‍ට් ලොජික් රක්ෂණ සමාගම, අලයන්ස් රක්ෂණ සමාගම සහ ෆෙයාර් ෆස්ට් රක්ෂණ සමාගම් ඇගයීම ද අද සිදු කෙරිණි.
    ජාත්‍යන්තර අධිවේගී තැපෑල, වටිනාකම අයකර භාරදීමේ තැපෑල සහ දේශීය තැපැල් කුරියර් සේවාව සඳහා දායක වූ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් ප්‍රවර්ධනය වෙනුවෙන් දායකවූ කාර්ය
    මණ්ඩලයට ඇගයීම් අද සිදුවිය.
    තැපැල්පති රංජිත් ආරිරත්න මහතා අමාත්‍යවරයා වෙත පුද්ගලකාරක මුද්දරය ඇතුළත් සිහිවටන තිළිණය ප්‍රදානය කළේය.
    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතා ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya