අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ඉන්දීය ව්‍යවස්ථාදායක කථානායකවරුන්ගේ සම්මේලනයේ සියවස් සැමරුම අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පවැත්වෙයි

    සැප්තැම්බර් 18, 2021

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (15) ඉන්දීය ලෝක් සභාව විසින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවිධානය කරන ලද සමස්ත ඉන්දීය ව්‍යවස්ථාදායක කථානායකවරුන්ගේ සම්මේලනය (AIPOC) විශේෂ ආරාධිතයෙකු ලෙස ඇමතීය.


    “ඵලදායී හා අර්ථවත් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කිරීමෙහිලා ව්‍යවස්ථාදායකයේ කාර්යභාරය” යන තේමාව යටතේ පැවති මෙම සම්මේලනයේදී සමස්ත ඉන්දීය ව්‍යවස්ථාදායක කථානායකවරුන්ගේ සම්මේලනයට වසර සියයක් සපිරීම මෙන්ම සෑම වර්ෂයකම සැප්තැම්බර් 15 වන දිනට යෙදෙන ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය සැමරීම ද සිදුවිය.
    ඉන්දියානු ලෝක් සභාවේ ගරු කථානායක ඕම් බිර්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මේලනයට අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) සභාපති ඩුආර්ටේ පැචෙකෝ මහතා සහභාගී විය.

    ඔස්ට්‍රියාව, ගයනාව, මාලදිවයින, සිම්බාබ්වේ, මොන්ගෝලියාව සහ නැමීබියාව ඇතුළු රටවල් කිහිපයක ජාතික ව්‍යවස්ථාදායකයන්හි ගරු කථානායකවරු මෙහිදී සම්මේලනය ඇමතූහ. ඉන්දීය ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන්හි කථානායකවරු ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මේලනයට සම්බන්ධ වූහ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    සම්මේලනය අමතමින්  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙන්වා දුන්නේ අතීතයේ සිට මෙන්ම මෑත කාලීනව ද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආර්ථික හා ප්‍රජාතන්ත්‍රීක සහයෝගීතාව වඩාත් සුවිශේෂි බවයි.


    ''ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සර්ව ජන ඡන්ද බලය මඟින් තෝරා පත් කරගත් ආසියාවේ පැරණිතම පාර්ලිමේන්තුවයි. එමෙන්ම ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය ලෙස ඉන්දියානු
    ව්‍යවස්ථාදායකයන් බහු ආගමික, බහු වාර්ගික සමාජයක් තුළ ක්‍රියා කරන ආකාරය අසල්වැසියන් වශයෙන් අපට පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අගයන සමස්ත ලෝකයටම වටිනා පාඩම් රැසක් කියා දෙනවා” යැයි කථානායකවරයා මෙහිදී පැවසීය.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2015 වසරේදී මෙරට සිදුකළ ඓතිහාසික සංචාරයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතූ බව සිහිපත් කළ කථානායකවරයා පැවසුවේ එමඟින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත් වූ බවයි.

    පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පුරවැසියන් වඩාත් සක්‍රීය ලෙස සම්බන්ධ කර ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ වන විට විවෘත පාර්ලිමේන්තු සංකල්පය ක්‍රියාවට නංවා ඇති බවත් කථානායකවරයා මෙහිදී පැවසීය.

    තවද මෑතකදී පිහිටුවන ලද සන්නිවේදන දෙපාර්තමේන්තුව හරහා ජනතාව සහ පාර්ලිමේන්තුව අතර සබැදියාව වැඩිදියුණු කිරීමට ද පියවර ගත් බව අබේවර්ධන මහතා පවසා සිටියේය. විශේෂයෙන් පාසල් දරු දැරියන් ඇතුළු මහජනතාව තුළ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දැනුම පුළුල් කිරීමත් ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදය ඔසවා තැබීමටත් හැකිවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
    “තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව, කෝප් කෝපා ඇතුළු ඇතැම් කමිටු මාධ්‍ය සදහා විවෘත කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තීරණය කළා. මෙය වඩාත් විනිවිදබවකින් සහ වගවීමකින් යුතුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙහි ලා වැදගත් පියවරක් වුණා” යැයිද කථානායකවරයා මෙහිදී පැවසීය.


    එසේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ වඩාත් සක්‍රීය කමිටු ක්‍රමයක් ක්‍රියාත්මක වන බව පෙන්වාදුන් කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් හා
    සම්බන්ධ වෙමින් ඍජුව අදහස් හුවමාරු කර ගනිමින් ඒ ඒ විෂය පථයන්ට අදාළ ගැටලු විසඳා ගැනීම සදහා අවස්ථාව හිමිවී ඇති බවත් පවසා සිටියේය. පවතින කොවිඩ් -19 අභියෝගය මධ්‍යයේ වුවද යම් යම් සීමා කිරීම්වලට යටත්ව පාර්ලිමේන්තු කටයුතු අඛන්ඩව පවත්වා ගෙන යාමට හැකිවූ බව ද කථානායකවරයා මෙහිදී පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya