අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ඕසෝන් දින සැමරුම අද  

    සැප්තැම්බර් 16, 2021

     

    මාධ්‍ය නිවේදනය

    ලෝක ඕසෝන් දින සැමරුම් උත්සවය - 2021

    ඕසෝන් ස්තරය ක්ෂය කරන ද්‍රව්‍ය පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානයේ පාර්ශවකරුවෙකු ලෙස, ශ්‍රි ලංකාව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඕසෝන් ස්තරය සුරැකීම සඳහා වන සිය වගකීම ඉටු කිරීමට කැපවී සිටී. මොන්ට්‍රියල් සන්ධාන විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රි ලංකාවේ ජාතික කේන්ද්‍රස්ථානය ලෙස පරිසර අමාත්‍යංශය කටයුතු කරයි.

    අමාත්‍යංශය ජාතික ඕසෝන් ඒකකය (NOU) සන්ධානයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සකස් කර ඇති විවිධ ක්‍රියාකාරකම් සිදු කරයි.
    එය වාර්ෂිකව සැප්තැම්බර් 16 දින ඕසෝන් ස්තරය සුරැකීමේ ජාත්‍යන්තර දිනය සමරයි. ඕසෝන් ස්ථරය සහ පරිසරය ආරක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යංශ සහ සියලුම පාර්ශවකරුවන් විසින් ගනු ලබන ක්‍රියාමාර්ගත් ඒ හා සම්බන්ධ තාක්‍ෂණයන් දියුණු කිරීමත්, ඕසෝන් විද්‍යාව පිළිබඳ අදහස ව්‍යාප්ත කිරීමත් පිළිබඳව දැනුවත් කිරීම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණයි.

    මෙම උත්සවයේ ගෝලීය තේමාව වනුයේ ‘මොන්ට්‍රියල් සන්ධානය: අපව, අපේ ආහාර සහ එන්නත් සිසිල්ව තබයි’ යන්නයි. ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ. ලොව පුරා “එන්නත්” යන්න විශාල ලෙස කතාබහට ලක්වන මාතෘකාවක් වන බැවින්, සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා උපදේශක වෛද්‍ය මංජුල කාරියවසම් සහ විශ්‍රාමික සිවිල් නිලධාරියෙකු වන ඉංජිනේරු. පියසිරි කළුබෝවිල යන මහත්මවරුන් පවත්වනු ලබන ඕසෝන් සංවාදය, උත්සවයේ ප්‍රධාන අංගයක් වනු ඇත.

    2020 අවසානයේ COVID-19 එන්නත් කිරීමේ ව්‍යාපාරය ආරම්භයේ සිටම, SARS- COV-II වෛරසයට එරෙහිව ගෝලීය එන්නත් කිරීමේ ව්‍යාපාරයක් සංවිධානය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන ශීතකරණ සහ විශේෂයෙන් සීතල දාමයේ වැදගත්කම පිළිබඳව ලෝකය දැන සිටියේය. පළමු එන්නත් සඳහා ගබඩා උෂ්ණත්වය ඉතා අඩු ලෙස භාවිතා කිරීම එන්නත්සං රක්‍ෂණය සඳහා සීතන දාමයේ වැදගත්කම පිළිබඳව මහජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවූ අතර උෂ්ණත්වය පාලනය කළ සැපයුම් සඳහා සම්බන්ධ වූ සියලු දෙනා බලමුලු ගැන්වීය. එන්නත් වල පිරිවැය සහ දරා ගැනීමේ හැකියාව බෙහෙවින් රඳා පවතින්නේ ඒවා ගබඩා කළ යුතු උෂ්ණත්වය මත ය. විශේෂයෙන් ලංකාවේ එන්නත් සීතන දාමය, එහි අවශ්‍යතා සහ අභියෝග පිළිබඳව දැන ගැනීම කාලෝචිත අවශ්‍යතාවයකි.

    පරිසර අමාත්‍යංශ සමඟ එක්ව ඕසෝන් ස්ථරයේ ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමට ප්‍රජාව තුළ විවිධ කොටස් දිරිමත් කිරීමේ මාධ්‍යයක් ලෙස ජගත් ඕසෝන් දිනය භාවිතා කරයි. සෑම වසරකම විවිධ තරඟ පැවැත්වෙන අතර ප්‍රධාන අංගයන් ද සංවිධානය කෙරේ. සැම දෙනා සඳහා හරස්පද ප්‍රහේලිකා තරග මාලාවක් සහ ඕසෝන් කෙටි පිටපත් ලිවීමේ තරඟ මාලාවක් සහ සිසුන් සඳහා පෝස්ටර් සැලසුම් කිරීමේ තරඟයක් මෙවර පැවැත්විණි. ජයග්‍රාහකයින්ගේ නිවේදනය මෙම මාර්ගගතව පවත්වන උත්සවයේදී සිදු කෙරේ.

    ශ්‍රි ලංකාවේ වායුසමීකරණ හා ශීතකරණ අංශයේ කාන්තා සහභාගීත්වය ඉතා අඩු මට්ටමක පවතින බැවින් කුඩා අවධියේ සිට ඒ සම්බන්ධව උනන්දුවක් ඇති නොකළහොත් එය වැඩි කිරීම සාක්‍ෂාත් කර ගත නොහැකිය. ගැහැණු ළමයෙකුට අධ්‍යාපනය ලබා දීම යනු පවුලක් දැනුවත් කිරීමයි. එම නිසා පරිසර අමාත්‍යංශ ශ්‍රී ලංකා බාලිකා මාර්ගෝපදේශක සංගමය සමඟ සම්බන්ධ වී ඇති අතර ඕසෝන් ස්ථරයේ ආරක්‍ෂාව සඳහා ගැහැණු ළමයින් එහි සෑම මට්ටමකම බාලිකා මාර්ගෝපදේශනය සඳහා සම්බන්ධ කර ගෙන ඕසෝන් ලාංඡනය හඳුන්වා දෙයි. ශීතකරණ සහ වායුසමීකරණ අංශයට ගැහැණු ළමයින් ඇතුළත් කර ගැනීම දිරිමත් කළ හැකි අතර නුදුරු අනාගතයේ දී සමාජයට බලපෑම් කිරීමට ද එමගින් ඔවුන්ට හැකි වේ. මූලික පියවර වශයෙන්, බාලිකා මාර්ගෝපදේශිකාවන් අතර විවිධ කණ්ඩායම් පිහිටුවා ඔවුනොවුන්ගේ කණ්ඩායම් සඳහා ලාංඡනයක් සැලසුම් කිරීමට තරඟයක් පැවැත්විණි. මෙම තරඟයේ ජයග්‍රාහිකාවන් ද මෙම උත්සවයේදී ප්‍රකාශයට පත් කෙරේ.

    ශීතකාරයක් ලෙස භාවිතා කළ සහ ඉතා ඉහල ඕසෝන් ක්ෂය කිරීමේ විභවයක් (ඕඩීපී) ඇති ක්ලෝරොෆ්ලෝරෝකාබන් (සීඑෆ්සී) භාවිතය දශක කිහිපයකට පෙර ලංකාව විසින් තහනම් කරන ලදී. සීඑෆ්සී වලට වඩා අඩු ඕඩීපී ප්‍රමාණයක් ඇති හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් (එච්සීඑෆ්සී) ඊට විකල්ප වශයෙන් හඳුන්වා දෙන ලදී. ඕසෝන් ස්ථරයට ඒවායේ බලපෑම සලකා බලමින් ඒවා ඉවත් කිරීමට රටවල් කැපවී සිටින අතර විකල්ප වශයෙන් ඕඩීපී ශුන්‍යයක් ඇති හයිඩ්‍රොෆ්ලෝරොකාබන් (එච්එෆ්සී) හඳුන්වා දෙනු ලැබීය. පසුව
    ඒවාද කාබන් ඩයොක්සයිඩ් වලට වඩා දහස් ගුණයකින් වැඩි ගෝලීය උණුසුම් වීමේ විභවයක් ඇති බව සොයා ගන්නා ලදී. කෙසේඋවද ඕසෝන් ස්ථරය ක්ෂය වීමට එච්එෆ්සී දායක නොවුණත් දේශගුණික විපර්යාසයන්ට තුඩු දෙන ගෝලීය උණුසුම ඉහළ යාමට ඒවා දායක වේ. ශ්‍රි ලංකාව ඇතුළු රටවල් එච්එෆ්සී භාවිතයෙන් ඉවත් කිරීමටද කැපවී සිටිති.

    එච්එෆ්සී භාවිතය තුලින් ගෝලීය උණුසුම් වීමේ බලපෑම් අවම කිරීම සඳහා දේශීය ක්‍රමයක් ලෙසට වැඩෙන ගස්, වනාන්තර සහ පිරිහුණු ඉඩම් ආපසු ගෙන ඒම සඳහා බීජ බෝල හඳුන්වා දීමට තීරණය කෙරිණි. මඩකලපුව දිස්ත්‍රික්කයේ තේතාතිව්හි ''වර්කල්''ස්වේච්ඡා සංවිධානය, කරදියනාරු ජාතික පාසලේ පාසල් දරුවන් ඇතුළු ස්වේච්ඡා සේවකයන්, ශ්‍රි ලංකා අග්නිදිග
    විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රියාස් අහමඩ් මහතාගේ නායකත්වයෙන් බීජ බෝල සකස් කර පාර්ශවකරුවන් අතර බෙදා හැරීම සඳහා අමාත්‍යංශය සමග බෙදා ගන්නා ලදි. මෙම උත්සවයේදී බීජ බෝල සෑදීම පිළිබඳ වාර්තාමය වීඩියෝ පටයක් ද විකාශය කෙරේ. බීජ බෝල සෑදීම සහ බෙදා හැරීම හරිතකරණය කිරීමේ ක්‍රියාවලියට සෑම වයස් කාණ්ඩයකම හා පසුබිම්වල සිටින පුද්ගලයින් සම්බන්ධ කර ගැනීමට ඉතා හොඳ ක්‍රමයක් වේ. සාමූහික ක්‍රියාව මෙතැනින් ආරම්භ වේ.

    ප්‍රධාන උත්සවය සිංහල බසින් පැවැත්වෙන අතර කිසිවෙකු මග නොහැර එයට සම්බන්ධ කර ගැනීම සහතික කිරීම සඳහා දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂා දෙකෙන්ම එකවර සිදු කරන පරිවර්‍තනයන් සංවිධානය කෙරේ. මෙම උත්සවයට අදාල මාර්ගගත වැඩමුළුවට සම්බන්ධ වන හැඳුනුම්පත 891 9391 2387 වේ . ලියාපදිංචි කිරීමේ සම්බන්ධකය නම්:
    https://us02web.zoom.us/webinar/register/WN_JdgADFuzTiC9B6lSofnZlw මෙම උත්සවය ෆේස්බුක් (@lankaozone) ඔස්සේ ද සජීවීව විකාශය කෙරේ.

    වායු සම්පත් කළමනාකරණ සහ ජාතික ඕසෝන් ඒකකය
    පරිසර අමාත්‍යංශය
    ශ්‍රී ලංකාව

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya