මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පොලීසියට වසර 155ක් සපිරීම- මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ විශේෂ ප්‍රකාශය

    සැප්තැම්බර් 03, 2021

    ශ්‍රී ලංකා පොලීසියට වසර 155ක් සපිරීම- මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ විශේෂ ප්‍රකාශය

    අමාත්‍යවරයා සිදුකළ සම්පූර්ණ කථාව මෙසේයි.

    අද ශ්‍රී ලංකා පොලීසියට වසර 155ක් සපිරෙන දිනය.වර්තමාන පොලීසියේ ආරම්භය ලෙස සැළකෙන්නේ 1866 සැප්තැම්බර් 3වැනිදා.එවකට සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් කැම්බ්ලින් මහතාව ප්‍රධාන පොලිස් අධිකාරි හැටියට එදා පත් කළා. ඒ වගේම තමයි 1947 ජුනි මාසේ පළවෙනිදා තමයි ශ්‍රී ලාංකිකයකු හැටියට ප්‍රථම වතාවට ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ ප්‍රථම පොලිස්පතිවරයා ලෙස පත්වුණේ.එදා මෙදා තුර අද වෙනකන් පොලීසිය රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරන්නට සුවිශේෂී වු කැපවීමක් කරනවා.මෙහෙයුමක් කරනවා.

    අද පොලිස් නිලධාරීන් 85000කට වඩා පිරිසක් පොලීසියේ සිටිනවා.35වැනි පොලිස්පතිවරයා හැටියට පොලිස්පති වික්‍රමරත්න මැතිතුමා පත්වෙලා තියෙනවා.මම එතුමාටත් සමස්ත පොලීසියේ සිටින සියලුම පොලිස් නිලධාරීන්ටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා හැටියට ඔවුන් සියලු දෙනාටම සුබ පතනවා ඔවුන්‌ගේ රාජකාරිය අගයකිරීමකට ලක් කරනවා.ඒගේම අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා රටේ ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශය බිහි කරලා ශ්‍රී ලංකා පොලීසිය භාර දීලා ඒ සියලුම සම්පත් ලබා දුන්නා .

    ඒ අනුව අද පොලීසිය රටේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිවි කැප කරමින් සේවය කරන බව ජනතාවට මේ අවස්ථාවේදී මම කියන්න කැමතියි. ත්‍රස්තවාදීන්ට එරෙහිව කරන යුද්ධයේදී අපේ පොලිස් නිලධාරීන් 2600කට අධික සංඛ්‍යාවක් මිය ගොස් තියෙනවා.1700කට අධික සංඛ්‍යාවක් ආබාධිත තත්වයට පත්වී තිබෙනවා.ඒ වගේම තමයි මංකොල්ලාකාරීන්, පාතාල ක්‍රියාකාරීන්, අන්තවාදීන් වැනි අයව අත්අඩංගුවට ගැනීමට යන මෙහෙයුම්වලදී සියගණනක් අපේ පොලිස් නිලධාරීන් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.ඒ වගේම තමයි රථවාහන හසුරුවන ට්‍රැෆික් නිලධාරීන් මහපාරේදී රාජකාරි කරනකොට බීමත් රියදුරන් ඒ වගේම පළා යන වාහනවලට යටවෙලා අද වෙනකොට 231ක් අපේ පොලිස් නිලධාරීන් මහපාරේ මිය ගිහිල්ලා තියෙනවා.

    ඒ වගේම තමයි දැන් කොරෝනා වසංගතයේදී ජනතාවගේ සෞඛ්‍ය සඳහා කටයුතු කරනකොට ඒ රාජකාරින් කරන කොට අද වන විට පොලිස් නිලධාරීන් 11700 දෙනෙක් ආසාදිතයෝ වෙලා තියෙනවා.28 දෙ‌නෙක් අද මිය ගිහිල්ලා තියෙනවා.මේ සියලුම දිවි කැපකිරීම් කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්.අපි දන්නවා අද මහපාරේ රාජකාරි කරන පොලිස් නිලධාරීන් බොහෝ වේලාවට හරියට කෑමක් බීමක් නැතිව ඉතා දුෂ්කර තත්වයන් මත තමයි ඔවුන් සේවය කරන්නේ.ඔවුන්ගේ නිවාඩු බොහෝ වෙලාවට බොහෝ අවස්ථාවල අවලංගු වෙනවා.ඒ වගේම විවිධ ප්‍රදේශවලට කෙටි දැනුම්දීකින් ඔවුන්ට මාරුවීම් ලැබෙනවා.ඒ නිසා මම හිතන්නේ මෙලෙස ජනතාව වෙනුවෙන් විශේෂ කැපකිරීමක් කරන පොලීසිය දෙස ජනතාවත් ඔවුන්ගේ චිත්ත ධෛර්යය නැංවීමට ඔවුන් දෙස ගෞරවයෙන් බලනවානම් ඒක ලොකු දෙයක් හැටියට තමයි මම අමාත්‍යවරයා විදිහට සළකන්නේ.


    අද අපි දන්නවා විපක්ෂයේ සමහර දේශපාලඥයින් මේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ප්‍රමාද ඇයි කියමින් පොලීසියට දොස් පවරනවා.මම හිතන්නේ පාස්කු ප්‍රහාරයෙන් වසර දෙකහමාරක් යන්න ඉස්සෙල්ලා අද අපි ලබාගෙන තියෙන තත්වය මම හිතන්නේ වාර්තාවක් හැටියටයි.අද වෙනකොට මහාධිකරණ පහක 32නෙකෙුට විරුද්ධව නඩු 9ක් ක්‍රියාත්මක වෙනවා.ඒ වගේම තමයි මීට සති කිහිපයකට ඉස්සෙල්ලා මෙහි ප්‍රධාන චූදිතයෝ 25දෙනෙකුට එරෙහිව අපි අධි චෝදනා ගොනු කරලා තියෙනවා.අපි දන්නවා ඊයේ පෙරේදා වෙනකොට සැප්තැම්බර් පළවෙනිදට අග්‍රවිනිශ්චයකාරතුමා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරලා තියෙනවා ඔවුන් නොකඩවා මේ සම්බන්ධයෙන් විභාග කළා.ඒ වගේම අපි දන්නවා චෝදනාවන් 23270ක් ද ගොනු කරලා තියෙනවා.

    ඒ වගේම තමයි ඇසින් දුටු සාක්ෂි , විශේෂඥ සාක්ෂි, රස පරීක්ෂකවරුන්ගේ සාක්ෂි, තාක්ෂණීක සාක්ෂි මේ වගේ විශාල ප්‍රමාණයක් රැස් කරලා ඒවා අධ්‍යයනය කරලා තියෙනවා.දුරකතන ඇමතුම් ලක්ෂයකට වඩා විශ්ලේෂණය කරලා තියෙනවා.මේ වගේ විශාල කාර්යභාරයක් මේ අවුරුදු දෙකහමාරක් වගේ කාලයදී කිරීම ගැන.ඇත්තටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පත්වරයා ඇතුළු සියලුම නිලධාරීන්ට වගේම පොලිස්පතිවරයා ඇතුළු විමර්ශනයට සහය දුන් සියලුම නිලධාරීන්ට මගේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා මොකද මම හිතන්නේ දළදා මාළිගාවට ඒ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළාම වසර 4කට වඩා ගියා ඔවුන්ට විරුද්ධව නඩු පවරන්න.ඒ වගේම තමයි ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරයේදී මහ මොළකරු හැටියට ශේක් මොහොමඩ් කියන මනුස්සයා අද වෙනකන් අත්අඩංගුවේ ඉන්නවා ඔහුටත් තාම නඩු දාලා නෑ.ඉතින් ඒ හින්දා මේවා ඉතාම කාලය යන ඉතාම සූක්ෂ්ම ලෙස විමර්ශනය කළ යුතු දේවල්.

    මම හිතන්නේ අපේ පොලිස් නිලධාරීන් ඉතා විශාල කැපවීමක් ඒ සම්බන්ධයෙන් කරලා තියෙනවා ඔවුන්ට මේ අවස්ථාවේ මගේ විශේෂ ස්තුතිය පුද කරනවා.ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය , ආබාධිත වුණු , තුවාල වුණු සියලුම අය වෙනුවෙන් සාධාරණය ඉටු කරන බව දැන්වීමට මම පොලීසිය භාර ඇමති හැටියට පොලීසියට වසර 155ක් සපිරෙන අද දින සපථ කරන බව මේ අවස්ථාවේදී මා කියා සිටිනවා.ඒ වගේම අපි දන්නවා අද ජනතාව පාරේ බැහැලා යන්නේ නිවාසවල බියෙන් සැකෙන් තොරව ඉන්නේ පොලීසිය ගැන තියෙන විශ්වාසය නිසා.

    ඒ විශ්වාසය අපි තවදුරටත් ස්ථාපිත කරනවා.ඒ කට පොරොන්දු වෙනවා අපි.ඒවගේම තමයි ජනතාවගේ සහයත් අපි පොලීසියට ලබා දෙන්න කියලා ඉතාම ආදරෙන් යුතුව ඉල්ලා සිටිනවා.ඒ සම්බන්ධයෙන් අපි ප්‍රජා පොලිස් ඒකකය අලුතින් නිර්මාණය කළා.ජනාධිපතිතුමා ඒකට දක්ෂ තරුණ අමාත්‍යවරයෙක් දිලුම් අමුණුගම අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා හැටියට පත් කරල දැන් ඒ සියලුදෙනාම එකතු වෙලා මහජන ආරක්ෂ කමිටු ස්ථාපිත කරලා ශක්තිමත් කරලා ගම සමග සම්බන්ධ වෙලා ගමේ ආරක්ෂාව වගේම රටේ ආරක්ෂාව තහවුරු කරන්නට අපි ක්‍රියා කරනවා.අපි දන්නවා අපරාධයක් වුණාට පස්සේ ඒ අපරාධකාරයෝ කෙටි කාලයකින් අත්අඩංගුවට ගන්න පුළුවන් ඉතා දක්ෂ පොලිස් නිලධාරීන් අප සතුව සිටිනවා.

     අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පය , අරමුණ තමයි අපරාධයක් වෙන්නට පළමු ඒ අපරාධ වළක්වා ගන්න ඒකට තමයි මහජන ආරක්ෂක අමාත්‍යංශයක් බිහි කළේ.ඒක නිසා තමයි මගේ සම්පූර්ණම කාර්යභාරය වෙලා තියෙන්නේ ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ඇති කරන්න.අපි දන්නවා නිවන් ලබා ගැනීම සඳහා තියෙන බාධකවලට අපි කියනවා පංච නීවරණ කියලා.ඒ තමයි කාමඡන්ද , ව්‍යාපාද ,ථීනමිද්ධ, උද්දච්ච කුක්කුච්ඡ , විචිකිච්ඡා කියන පංච නීවරණ තමයි නිවන් ලබා ගැනීමට තියෙන බාධක.ඒ වගේම තමයි බියෙන් සැකෙන් තොරව සමාජයක් බිහි කරන්න තියෙන ප්‍රධාන බාධක තමයි කප්පම්කාරයෝ ,එහෙමත් නැත්නම් පාතාල ක්‍රියාකාරීන් , මංකොල්ලකරුවන් , ස්ත්‍රී සහ ළමා දූෂකයන් සහ මත් උවදුර.ඒ පංච ව්‍යසනයන් අපට පුළුවන්නම් මේ සමාජයෙන් තුරන් කරන්න ජනතාවට පුළුවන් බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න.ඉතින් ඒ වගේ තත්වයක් ඇති කරන්නට අපි සම්පූර්ණයෙන්ම ඇපකැප වෙනවා.ඒකට ජනතාවගෙත් සහය දෙන්න කියලා පොලීසියට අවුරුදු 155ක් පිරෙන මේ අවස්ථාවේදී මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya