මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායන ඇදිරි නීති කාලසීමාවේ ගම්පහ අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් එන්නත්කරණයට මධ්‍යස්ථාන 45ක්

    අගෝස්තු 23, 2021

     වයස අවුරැදු 60 ට වැඩි එන්නත් ලබා නොගත් පුද්ගලයන් එන්නත්කරණ මධ්‍යස්ථාන සදහා ගෙන යාමේ විශේෂ වැඩසටහනක්....
     එන්නත් මධ්‍යස්ථාන වලට පැමිණීමට නොහැකි ගම්පහ අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එන්නත් ලබාදීමේ ජංගම සේවා......
     නිරෝධායන ඇදිරිනීතිය පවතින කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක්.......
     සදුදා සිට ගම්පහ ජීවනෝපාය අහිමි වූවන්ට රුපියල් 2000 දීමනාව ලබාදීම සදහා රුපියල් කෝටි 48ක්....

    කොවිඩ් වෛරස ආසාදිතයින් නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ සෞඛ්‍ය නිලධාරීන්ට යැයි සංචාරක මාධ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

    නිවෙස් වල සිටින වෛරස ආසාදිතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු වීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වී ඇති බවටගම්පහ සෞඛ්‍ය අංශ නිළධාරින් කළ පෙන්වා දීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ (21) zoom තාක්ෂණය ඔස්සේ පැවති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේ දීය.

    නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීමට නිර්දේශ වී ඇත්තේ වයස අවුරුදු 3ට වැඩි වයස අවුරුදු 65 ට අඩු බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර නොලබන සහ අවශ්‍ය පහසුකම් සලසමින් ආසාදිතයා ආරක්ෂා කර ගැනීමට හැකියාව ඇති පුද්ගලයෙක් නිවසේ සිටින්නේ නම් පමණි.

    ආසාදිතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙලක් යුද හමුදාවේ සහාය ඇතුව ආරම්භ කර ඇතැයි ගම්පහ ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නලින් ආරියරත්න මහතා මෙහි දී පෙන්වා දුන්නේය. නමුත් සමහර රෝගීන් සිය අවදානම ගැන නොසිතා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු වීම ප්‍රතික්ෂේප කිරීම නිසා සෞඛ්‍ය අංශ දැඩි
    අසීරුතාවයකට පත් වේ. නිරෝධායන නීතිය යටතේ මෙවැනි සිදුවීම් වලට මැදිහත් විය හැක්කේ පොලිසියට බව පෙන්වාදුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ අවදානම් සහිත පුද්ගලයින් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු වීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවල තත්ත්වය කළමනාකරණය කර ගැනීමට පොලිසියේ සහාය අවශ්‍ය කරන බවයි. එවැනි සිදුවීම් කළමනාකරණය කර ගැනීම සඳහා ඕනෑම මොහොතක පොලිසිය සහාය දැක්වීමට සූදානම් බව ද රැස්වීමට එක් වු ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් අවධානය කළහ‍.

    නිරෝධායන නීතිය ක්‍රියාත්මක වූ පෙර අවස්ථාවල මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් අසලට ම ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර ග්‍රාමීය කමිටු හරහා ග්‍රාම සේවා වසම් මට්ටමින් ලබා දීමට තීරණය කෙරිණි. නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වලට ප්‍රවාහනය කිරීමේ අවස්ථාව ලබාදීමත් සිදු කෙරේ.

    ඇස්ටොසෙනිකා කොවිසීල්ඩ් එන්නත් මාත්‍රා විසිදහසක් ගම්පහ දිස්ත්‍රික්කයට වෙන් වී ඇති අතර වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා එම එන්නත් ලබාදීම සිදු කෙරේ. මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවෙන් සියයට 65 ක්ම වයස අවුරුදු 60 ඉක්මවූ එන්නත්කරනය නොවූ පුද්ගලයන් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේය. එම නිසා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළදීම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් එන්නත් කරණය කිරීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

    ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් අතරින් 25000ක පමණ පිරිසක් තවමත් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා ගෙන නොමැති බව මෙහිදී අනාවරණය විය.

    ඒ අනුව සදුදා සිට අවුරුදු 60 ඉක්මවූ පිරිස එන්නත් කරණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයක එන්නත් කරන මධ්‍යස්ථාන තුනක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇති පිහිටා ඇති මහජන සෞඛ්‍ය නිළධාරී බල ප්‍ර දේශ 15 ක මධ්‍යස්ථාන 45 ක් ස්ථාපනය කෙරේ. මෙම එන්නත්කරන මධ්‍යස්ථානයකට පැමිණ එන්නත ලබා ගැනීමට නොහැකි වැඩිහිටියන්ට පළාත් පාලන ආයතන සහ පොලිසිය එක්ව ප්‍රවාහන පහසුකම් සැපයේ. එන්නත් කරන මධ්‍යස්ථානයකට පැමිණීම සඳහා කිසිසේත් හැකියාවක් නොමැති වැඩිහිටියන් සඳහා නිවෙස්වලටම ගොස් එන්නත ලබාදීමට කටයුතු කරන ලෙස ද ඇමතිවරයා උපදෙස් දුන්නේය.

    තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් එළබෙන අඟහරුවාදා මෙරටට ලැබීමට නියමිතව ඇති අතර ඉන් කොටසක් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා වෙන්කර ගැනීමට අපේක්ෂා කරන බව ද සංචාරක අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

    නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ රජයේ ආයතනවල අත්‍යවශ්‍යය නොවන වාහන කොවිඩ්‍ මර්දන කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු කරන්න යැයි ඇමතිවරයා උපදෙස් දුන්නේය. රෝහල් වල අවශ්‍යතා සහ පහසුකම් පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාල සහ පළාත් පාලන ආයතන හරහා රෝහල් වල අවශ්‍යතා සපුරන බවයි.

    මෙම කාල සීමාව තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නතකරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන ආකාරය අධීක්ෂණය කිරීමේ වගකීම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ නිමල් ලන්සා අමාත්‍යවරුන්ට පැවරිණි. අත්‍යවශ්‍ය සේවා බෙදාහැරීම අධීක්ෂණය කර එම කටයුතු සම්බන්ධීකරණය කිරීමේ වගකීම නාලක ගොඩහේවා අමාත්‍යවරයාට සහ නලින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාට පැවරිණි.

    දිස්ත්‍රික්කයේ සතොස ආයතන වලට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ලබා ගැනිමේ දී ගැටළු මතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු මහතා මෙහි දී පෙන්වා දුන්නේය. ඒ අවස්ථාවේදීම වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග සාකච්ඡා කළ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ සදුදා වන විට ඊට පිළියම් යොදන බවයි.

    නිරෝධායන ඇඳිරි නීතිය යොදන බව ප්‍රචාරයවීමත් සමග වැඩි වශයෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය රැස් කර ගැනීමට ජනතාව පියවර ගැනීම නිසා එවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    එසේ ම නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවනෝපාය අහිමි වූවන් සඳහා සහන සැලසීමට රුපියල් මිලියන 480ක මුදලක් වෙන්කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා මෙහි දී කියා සිටියේය‍. සදුදා සිට අදාළ දීමනාව ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් වසංගතය හේතුවෙන් ජීවනෝපාය අහිමි වුවන්ට ලබාදීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව නිරෝධානය වන පුද්ගලයන් සදහා රුපියල් 10,000 ක් වටිනා අත්‍යවශ්‍යය භාණ්ඩ ලබාදීමේ ව්‍යාපෘතිය ද මේ වන විට ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේය.
    මෙම සාකච්ඡාව සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රාදේශීය ලේකම්වරු, පළාත් පාලන ප්‍රධානීන් සහභාගී වුහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya