මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතියෙන් පමණක් පුරාවස්තු ආරක්ෂා කරන්න බැහැ- පුරාවස්තු ආරක්ෂා කරගැනීමට මිනිසුන්ගේ හැගීමක් ඇතිවිය යුතුයි - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

    ජූලි 14, 2021

    නීතියෙන් පමණක් පුරාවස්තු ආරක්ෂා කරගැනීමට නොහැකි බවත්, පුරාවස්තු ආරක්ෂා කරගැනීම සඳහා මිනිසුන්ගේ හැගීමක් ඇතිවිය යුතු බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව සදහන් කළේ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ශ්‍රී ලංකාවේ ජාතික උරුමය සහ එහි ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    දැනටමත් පුරාවිද්‍යා පනත සංශෝධනයට කටයුතු කර ඇති බවත්, එහි මුල් කෙටුම්පත් සකස් කර අවසාන වී ඇති අතර අදහස් ලබාගැනීම සදහා එය ජනාධිපතිතුමාගේ ආගමික උපදෙස් කමිටුව සදහා යොමු කර ඇති බවද ඔහු සදහන් කළේය.

    එහිදී ස්වාමීන්වහන්සේලාගේ අදහස් ලැබුණු පසු මහජනතාවගේ අදහස් ලබාගැනීමට යොමු කර ඉන් පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් බවද, මෙම වසර අවසන් වීමට ප්‍රථම එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඉන්පසු පාර්ලිමේන්තු පනතක් පනතක් වශයෙන් සම්මත කරගැනීමටත් හැකියාව ලැබෙනු ඇතැයි ඔහු කියා සිටියේය.

    දඬ මුදල් වැඩිකිරීමෙන් සහ මිනිසුන් හිරේ දැමීමෙන් පුරාවස්තු ආරක්ෂා කරගත නොහැකි බව සිහිපත් කළ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අරමුණ වන්නේ නීතිය ශක්තිමත් කරන අතරම, අනෙකුත් බාහිර ක්‍රම මගින් මහජනතාව තුළ උරුමය රැකගැනීමේ වැදගත්කම සහ උවමනාව ජනිත කරවීම බවයි.

    ඒ සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දියත් කරන විශේෂ වැඩසටහන් මාලාවක් ඇති අතර ඒ පිළිබදව දැනුවත් කිරීම සදහා මෙම මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රවර්ධන අධ්‍යක්ෂ දීපාල් විජේතිලක මහතා මෙසේ පැවසුවේය.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ රාජකාරිය වන්නේ ශ්‍රී ලාංකීය පුරාවස්තු, ශ්‍රී ලාංකීය පුරාවිද්‍යා උරුමය සොයා ගැනීම, ඒවා සංරක්ෂණය කිරීම තහවුරු කිරීම සහ මතු පරපුරට ඒවා දායාද කිරීමත්, දෙස් විදෙස් පිරිස ශ්‍රී ලාංකීය පුරාවිද්‍යා උරුමය පිළිබද දැනුවත් කිරීම සහ ප්‍රවර්ධනය කිරීමයි.

    මෙය විවිධාකාරයෙන් කරනවා. ඇත්තටම අවශ්‍ය වන්නේ පුරාවිද්‍යා පුරා විද්‍යා උරුමය දැනුවත් කිරීමෙන් පුරාවිද්‍යා උරුමය හෙට පරපුරට දායාද කරගැනීමට එනම් සිටින වත්මන් සහ හෙට පරම්පරාව එකතු කරගැනීමයි.

    මෙහිදී විවිධ උපක්‍රම භාවිතා කරන අතරම මේ අය දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග සදහා ප්‍රධාන වශයෙන්ම පුරාවිද්‍යා ක්ෂේත්‍රයන්ට අදාලව විවිධ අනු විෂයන් මාතෘකා පිළිබදව ප්‍රකාශන මාලාවක් එළිදක්වන බව මෙන්ම මෙවර ජාතික පුරා විද්‍යා දිනයටද විවිධ මාතෘකා යටතේ එවැනි ග්‍රන්ථ 14ක් එළි දැක්වූ බවද ඔහු සදහන් කළේය.

    මෙම ග්‍රන්ථ එළි දැක්වීමේදී සමාජයේ එක් එක් තල ඉලක්ක කරගනිමින් එළිදැක්වූ බවද, ශාස්ත්‍රීය දැනුමක් ලබාගැනීමට බලාපොරොත්තු වන්නන් සදහා ශාස්ත්‍රීය ග්‍රන්ථද, පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් වෙනමම පොත් පෙළක්ද මේ වන විට පොත් 10ක් සකසා ඇති බවද ඔහු අවධාරණය කළේය.

    විවිධ අනුමාතෘකා යටතේ පොත් 25ක් සකස් කරමින් පවතින බවද ඉන් බලාපොරොත්තු වන්නේ සරල භාෂාවෙන් වර්තමාන සහ අනාගත පරපුරට අපේ උරුමය ගැන හොද දැනුමක් ලබාදීම බවද ඔහු කියා සිටියේය.

    දැනට ඇති අධ්‍යාපන ක්‍රම සහ විවිධ හේතූන් නිසා පාසැල් දරුවන් පොත් පත් සහ අමතර කියවීම් වලින් ඈත්වී ඉලෙක්ට්‍රොනික ලෝකයට පිවිසීමට වැඩි ඇල්මක් දක්වන බවද, ආකර්ෂණීය ලෙස මෙම පොත්පත් ඉදිරිපත් කිරීමෙන් මොවුන් දැනුවත් කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බවද ඔහු පැවසුවේය.

    තවත් ක්‍රමයක් වශයෙන් චිත්‍රකතා ආශ්‍රයෙන් උරුමය ගැන දැනුවත් කිරීමට පොත් පෙළක් සකස් කරමින් පවතින බවද, එමෙන්ම නව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අදහසකට අනූව සය මසකට වරක් එළි දක්වන සගරා ද්විත්වයක්ද එළිදැක්වීමට අපේක්ෂා කරන අතර මෙවැනි ප්‍රකාශන මාධ්‍යයන්ගෙන් බලාපොරොත්තු වන්නේ අපේ ජනතාව අපේ උඍුමය රැකගැනීමට දැනුවත් කර ඔවුන් මෙයට සම්බන්ධ කරගැනීම බවද ප්‍රවර්ධන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    තවත් උපක්‍රම වශයෙන් දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය දියත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය. වර්තමාන කොවිඩ් තත්ත්වය තුළ මේවා මාර්ගගත ක්‍රමයට පැවැත්වෙයි. එමෙන්ම ජංගම ප්‍රදර්ශන, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය සහ ඉලෙක්ට්‍රොනික ලෝකයට පිවිසී සිටින අලුත් පරපුරට අපේ උරුමය පිළිබදව දැනුවත් කිරීමට මුහුණුපොත් ගිණුමක් සහ යූ ටියුබ් නාලිකාවක් යොදාගැනෙන බවද ඔහු පැවසුවේය. පාසල් වල පුරාවිද්‍යා සංගම් පිහිටුවා කලක් තිස්සේ කටයුතු කළ බව සිහිපත් කරමින් එහි වැදගත්කමද අවධාරණය කළ පුරාවිද්‍යා ප්‍රවර්ධන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ මේ සැම දෙයක් තුළින්ම අපේක්ෂා කරනුයේ ජනතාව මෙම කටයුතු වලට සම්බන්ධ කරගනිමින් ජනතාව තුළින්ම අපගේ උරුමය රැකගැනීම ප්‍රවර්ධනය කිරීම බවයි..

    පසුගිය සතියේ 131 වන ජාතික පුරාවස්තු දිනය සැමරූ අතර ජනතාවට ලබාදිය යුතු පණිවිඩය ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ ඔබ සමග අපි ඉන්නවා.. අප සමග ඔබ ඉන්න.. 132 වෙනි ජාතික පුරා විද්‍යා දිනය වන විට ඔබට යම් වෙනසක් හිතට දැනේවි.. අද පුරාවිද්‍යා දිනය නේද කියන එක හිතට දැනෙන මට්ටමට යම් දෙයක් කිරීමට අපේ දෙපාර්තමේන්තුවේ සියලුදෙනා සැදී පැහැදී සිටිනවා... යනුවෙනි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya