මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියාලාභීන් වෙනුවෙන් උපරිමයෙන් සේවය කරනවා-විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ

    ජූලි 14, 2021

    විදේශ රැකියාලාභින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් උපරිමයෙන් සේවය කරන බවත්, කාර්යංශයේ නිලධාරින්ගෙන්ද එම සේවය තමන් උපරිමයෙන් බලාපොරොත්තු වන බවත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති ලෙස අද දින වැඩ භාර ගත් විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා ප්‍රකාශ කළේය.

    සභාපතිවරයා පිලිගැනීමට පැමිණි කළමනාකාරිත්වය හා සේවක පිරිස අමතමින්, වැඩිදුරට අදහස් දැක්වූ හතුරුසිංහ මහතා මෙලෙස ද කියා සිටියේය.

    “සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාවට, ඔවුන් බලාපොරොත්තුවන සේවයට වඩා වැඩි සේවයක් සිදුකර, ඔවුන්ගේ අවශ්‍යතාවය උපරිමයෙන් ඉටුකර දිය යුතුයි. මේ සඳහා සියලු දෙනාගේ කැපවීම අවශ්‍යයි. විදේශ රැකියාලාභින් ඇතුළු ඕනෑම කෙනෙකුට මා හමුවෙන්න පුළුවන්. කොවිඩ් වසංගතය සමඟ සේවාලාභින් හා ආයතනය අතර දුරස්ථභාවය ඇතිවී තිබුනත්, හැකි සෑම විටම ඔවුන්ගේ ගැටළු විසඳීමට කටයුතු කිරීම තමයි වැදගත්. ඒ තුලින් තමයි අපි සෑම දෙනා තෘප්තිමත් සේවාවක් සැලසුම වෙන්නේ,මෙම ආයතනය ඉතා වැදගත් ආයතනයක්. රටට විදේශ විනිමය උපයා දෙන ආයතනයක්. එම නිසා විදේශ රැකියාලාභින් ගැන විශේෂ අවධානය යොමු කල යුතුයි. “මිනිසා මිනිසා ලෙස සතුටු කරන්න. එය ඔබේ ප්‍රාර්ථනාව කර ගන්න” කියලා මම කියනවා.”

    “ඇඟලුම් ක්ෂේත්‍රෙය් වැඩකරන සහෝදරියන්ට “ජුකී කෙල්ලෝ” කියලා කියනවා. නමුත්, ඒ අය ජාතික ආර්ථිකයට සපයන අතිවිශාල දායකත්වය ගැන කියන්නේ නැ. අපි ආකල්පමය වශයෙන් වෙනස් විය යුතුයි. විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයන්ගෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලැබෙනවා. එය අපි අගය කල යුතුයි”.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, විදේශ රැකියලාභින්ගේ හා බලපත්‍රලාභි රැකියා නියෝජිත ආයතනවල ගැටළු ඉක්මනින් විසඳීම සඳහා කඩිනමින් කටයුතු කරන බවත්, ඒ සඳහා සෑම උත්සහයක්ම ගන්නා බවත්ය.

    මහින්ද හතුරුසිංහ මහතා 1980 ශ්‍රී ලංකා යුධ හමුදාවට නිලධාරි ශිෂ්‍ය භටයෙකු ලෙස සේවයට එක් වූ අතර, වසර හතරක් යාපනයේ ආරක්ෂක හමුදා මූලස්ථානයේ අණදෙන නිලධාරි ලෙස සේවය කර ඇත. යාපනය අර්ධද්වීපයේ මානුෂීය මෙහෙයුම්, නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපනය හා විවිධ සමාජ සුභසාධන ක්‍රියාකාරකම් සිදුකිරීමට නායකත්වය ලබාදීම අගය කිරීම සඳහා 2010 වර්ෂයේදී, පිලිපීනයේ මැනිලා නුවරදී, ගුසී ජාත්‍යන්තර පදනම මගින් “ගුසී සාම සම්මානය” පිරිනමා තිබේ. යුධ හමුදාවේ වසර 36ක සේවා කාලය තුල, මානුෂීය මෙහෙයුම්, නැවත පදිංචි කිරීම්, පරිපාලන, ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන කටයුතු ඇතුළු හමුදාවේ විවිධ අංශවල සේවය කොට තිබෙන අතර, විශ්‍රාම ගැනිමෙන් අනතුරුව ප්‍රසිද්ධ ඇඟලුම් ව්‍යාපාරයක සමූහ පරිපාලන ප්‍රධානියා ලෙසද ඔහු කටයුතු කර තිබේ.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පරිපාලන අධ්‍යක්ෂක නිමල් තිබ්බටුමුනුව, සාමාන්‍යාධිකාරි ඩබ්.එම්.වී වන්සේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වී සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya