අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෝගය වළක්වාගැනීම තමයි මේ ව්‍යසනයේදී අපට කළ හැකි හොදම දෙය- අපිට තවමත් රෝගය වළක්වාගන්න පුළුවන් - රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

    මැයි 12, 2021

    Covid-19 ව්‍යසනයේදී අපිට කළ හැකි හොදම දෙය රෝගය වළක්වාගැනීම බවත්, අපිට තවමත් රෝගය වළක්වාගැනීමට පුළුවන් බවත් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

    රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ, අද දින (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කොවිඩ් තත්ත්වය සහ ඉදිරි සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබදව පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    තුන්වන රැල්ල මෙරට ව්‍යාප්ත වීම අප්‍රේල් 15 පමණ සිට ඇරඹි බවත්, පෙර අවස්ථාවන්ට වඩා සීඝ්‍රයෙන් මෙහිදී රෝග ව්‍යාප්තිය සිදුවන බවද මෙයට හේතුව වනුයේ වෛරසයේ හැසිරීම සහ නිරන්තරයෙන් වෛරසය වෙනස්වීම් වලට ලක්වීම බවද අමාත්‍යවරිය පැවසුවාය.

    මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ආවේණික වූ තත්ත්වයක් නොවන අතර මෙය මුලු මහත් ලෝකයම මුහුණපා සිටින ගැටලුවක් බව සිහිපත් කළ අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ ජනතාවගේ හැසිරීම් රටාව රෝගය බෝ වීමට වාශේෂයෙන් බලපානා බවයි.

    නව වෛරස් ප්‍රභේදය ලංකාවේ ව්‍යාප්ත වී ඇති බවට හදුනාගෙන ඇති අතර ඊයේ රාත්‍රිය වන විට ලංකාවේ තුන්වන රැල්ලෙහි මේ දක්වා රෝගීන් 31616ක් හදුනාගත් බවද ඇය පැවසුවාය.

    මෙම නව රැල්ලෙහි වෙනස් හැසිරීමත් සමග වේගයෙන් ව්‍යාප්තියක් දැකිය හැකි අතර වැඩි සංකූලතාද දක්නට ලැබෙන බවද වැඩි ඔක්සිජන් අවශ්‍යතාවයක්ද ඇතිවිය හැකි බව සිහිපත් කළ අමාත්‍යවරිය සෞඛ්‍යාරක්ෂක ක්‍රම අනුගමනය කිරීම මෙම අවස්ථාවේ ඉතාම වැදගත් වන බවද අවදාරණය කළාය.

    එනම් මුව ආවරණ දෙකක් පැළදීම, සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම, අනවශ්‍ය පරිදි ජනයා ඒකරාශී වන ස්ථාන වලට යාමෙන් වැළකීම, නිරන්තර දෑත් සබන් දා සේදීම, අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසෙන් බැහැර නොයා සිටිමින් අනවශ්‍ය ගමන් බිමන් වලින් වැළකීම ආදී සෞඛ්‍ය උපදෙස් පිළිපදින අතරම නිවසෙන් එළියට ගොස් පැමිණි වහාම වෛරසය නිවස තුළට රැගෙන ඒමෙන් වැළකී ස්නානය කර ඇදුම් පැළදුම් සෝදා පිරිසිදු වී නිවසට ඇතුලුවීමේ වැදගත්කම සහ එමගින් තමන්ගේ පවුලේ ආදරණීයයන් වෛරසයෙන් ආරක්ෂා කරගන්නා අයුරු පිළිබදව සවිස්තරාත්මකව පැහැදිලි කළාය.

    එමෙන්ම මෙම රෝගයෙන් තරුණ ප්‍රජාවට වඩා තවමත් මිය යන්නේ වයස්ගත පුද්ගලයන් බවද, තරුණයින්ට වඩා වයස්ගත පුද්ගලයින් හට මෙම අවස්තාවේදීද වැඩි අවධානමක් පවතින බැවින් ඔවුන් ආරක්ෂා කරගැනීමට හොද සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් කටයුතු කිරීම වැදගත් බවද අමාත්‍යවරිය අවධාරණය කළාය.

    එන්නත්කරණය මේ වන විට සාර්ථකව කරගෙන යන බව සිහිපත් කළ ඇය වැඩිදුරටත් පැවසුවේ මෙරටට ලද ස්පුට්නික් එන්නත් 15000ක ප්‍රමාණය ගොතටුව කොළොන්නාව ආදී ප්‍රදේශ වල සාර්ථකව ජනතාවට ලබාදෙන අතර 71203ක් ලද සයිනොෆාම් එන්නත බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක සදහා මේ වන විට ලබාදෙන බවයි. ෆයිසර් එන්නත සදහාද ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි අනුමැතිය හිමිව තිබෙන අතර නුදුරේදී එම එන්නතද මෙරටට ගෙන්වා ජනතාවට ලබාදීමට අපේක්ෂා කරන බව ඇය පැවසුවාය.

    එන්නතක් භාවිතා කළ ක්ෂණයෙන් ප්‍රතිඵල නොලැබෙන බවත් ඒ සදහා සති දෙක තුනක කාල සීමාවක් ගතවන බවත් සිහිපත් කළ අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසුවේ එන්නත්කරණය භාවිතා කරනුයේ මධ්‍යකාලීන ක්‍රමවේදයක් ලෙස බවයි. එන්නත් ලබාගත් පුද්ගලයින්ද මුව ආවරණ පළදිමින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සෞඛ්‍යාරක්ෂිතව ජීවත්වීම වැදගත් බවද ඇය අවධාරණය කළාය.

    එන්නත්කරණයෙහි දෙවන මාත්‍රාව ලබාගැනීම සදහා සුදුසුම කාලසීමාව සති 14 – 16ත් අතර කාලය බව වෛද්‍ය විශේෂඥයින්ගේ නිර්දේශය බවත්, එන්නත් මිශ්‍රණය එනම් පළමු මාත්‍රාව එක් වර්ගයකින් ගෙන දෙවන මාත්‍රාව තවත් වර්ගයකින් ලබාගැනීම පිළිබදව තවමත් පර්යේෂණ ලෝකයේ සිදුකරන බවද තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වනුයේ පළමු මාත්‍රාව ලබාගත් එන්නත් වර්ගයෙන්ම දෙවන මාත්‍රාවත් ලබාගැනීම සුදුසු වන බවද ඇය පැවසුවාය.

    ඖනෑම එන්නතකින් සිදුකරනුයේ රෝගය සෑදී මරණයට පත්වීම වැළැක්වීමත්, රෝගය උත්සන්න වීම අඩු කිරීම සහ රෝගය ව්‍යාප්ත වීම අඩු කිරීම බවද ඇය සිහිපත් කළාය. ෆයිසර් එන්නත් මිලියන 05ක්, ස්පුට්නික් එන්නත් මිලියන 13ක් ඇණවුම්කර ඇති බවද ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 06ක් සොයාගැනීමට උත්සාහ දරණ බවද සිහිපත් කළ අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ තවමත් අප රටෙහි සෞඛ්‍ය උපකරණ ධාරිතාවය රෝගීන්ට ප්‍රමාණවත් වන අතර රෝගීන්ගේ ධාරිතාවය වේගයෙන් වැඩිවුවහොත් සෞඛ්‍ය පුහුණු කාර්යය මණ්ඩලයක් ක්ෂණිකව වැඩිකරගත හැකි නොවන බවයි.

    ඒ හේතුවෙන් ඇය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙලෙසයි. රෝගය වළක්වාගැනීම තමයි මේ මොහොතේ වඩා ලාභදායක සහ හොදම ක්‍රමය. අපිට තවමත් රෝගය වළක්වාගන්න පුළුවන්. ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් අපි රට වෙනුවෙන් වගකීමෙන් වැඩ කළ යුතුයි. අපේ රටේ අම්මලාගෙන් ඉල්ලා සිටිනවා පවුලේ අය ආරක්ෂා කරගන්න කටයුතු කරන්න කියලා.. එන්නත්කරණයට යොමු කරමින් සෞඛ්‍යාරක්ෂාව පිළිබදව සැලකිලිමත් වෙමින් කටයුතු කරන්න කියලා...

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya