මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැයට එළිය - ගමට බලයක් කරමින්, ''ගමට බලාගාරයක්'' සමාරම්භය සනිටුහන් කළා -විදුලිබල අමාත්‍ය

    මාර්තු 26, 2021

    රටේ ආර්ථිකයට දිය හැකි සුවිශාල දායකත්වයක් සපයමින් පරිසරයට සෙත් පිරිතක් බදු වූ ගමට බලාගාරයක් ව්‍යාපෘතිය මගින් අභිනවයෙන් ජනිතවන සූර්ය විදුලි බලාගාර 7000 වසර 03 ක් ඇතුලත නිම කර ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 700 ක දායකත්වයක් ලබාදීමට කටයුතු කරනවා " යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, තෝරාගත් ට්‍රාන්ස්ෆෝමර් 7000 ක් ආශ්‍රිතව දීපව්‍යාප්තව ඉදිකිරීමට නියමිත සූර්ය විදුලි බලාගාර 7000 ව්‍යාපාතිය යටතේ එහි පළමු පියවර දියත් කරමින්, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (25) පෙරවරුවේ විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි

    "රටේ අනාගතය පදනම් වී ඇත්තේ, පුනර්ජනනීය බලශක්තිය මතයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍ර‍කාරව වසර 2030 වන විට ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය 70% දක්වා වර්ධනය කිරීමේ ඉලක්කය කරා හඹා යමින්, දැයට එළිය - ගමට බලයක් කරමින්, ගමට බලාගාරයක් උදාර සංකල්පයට සමාරම්භයක් දීමට අද අපට හැකිවුණා. මෙය රටේ මෙන්ම ජනතාවගේ ඉතිහාසය වෙනස් කරන යෝධ පිම්මක්. මෙතෙක් ජාතික විදුලිබල පද්ධතියට සූර්ය බලයෙන් ලැබුණ දායකත්වය මෙගාවොට් 417 ක් පමණයි. අදින් ආරම්භ වූ ගමට බලාගාරයක් තුළින් එම දායකත්වය දෙගුණයක් බවට පත් කිරීමට හැකිවේවි.

    . ඒ අනුව පළමු පියවර යටතේ ඉදිකෙරෙන බලාගාර 880 ක් වෙනුවෙන් අද දින ටෙන්ඩර්පත් කැදවීමට පියවර ගෙන ඇත. පළමු පියවර යටතේ ඉදිවන මෙම බලාගාර මාස 7 ක් වැනි කාලසීමාවක් තුලදී ජාතික පද්ධතියට එක්කිරීමට නියමිතය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, සූර්ය විදුලිය සම්බන්ධයෙන් ලංකාවේ පළමු වරට කථිකාවක් ඇතිවන්නේ 1980 වසරේ බවත්, රටේ අනාගතයට නව මානයක් කියාපාමින්, අදින් ඇරඹෙන මෙම ගමට බලාගාරයක් සංකල්පය තුළින් දේශීය ව්‍යවසායකයින් 7000 ක් මෙන්ම නව රැකියා අවස්ථා රාශියක් බිහිවීම වැනි සුවිශේෂී අවස්ථාවන් රැසක් හිමි වන බවත් පැවසූ අතර ගෝත්‍රික දේශපාලන මානසිකත්වයෙන් ඔබ්බට යමින්, අදින් දියත්වන මෙම නව්‍ය සංකල්පය තුළින් සමස්ත දිවයින ඒකාලෝක කිරීමේ ඓතිහාසික කටයුත්තට උරදී කටයුතු කල රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු නිලධාරීන්ට සිය කෘතඥතාවය පළ කළේය. මාධ්‍ය විසින් නැගූ ප්‍ර‍ශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය අගහප්පෙරුම මහතා පැවසුවේ, ලංකා විදුලිබල මණ්ඩලය සමග වසර 20ක ගිවිසුමක් අනුව මෙම විදුලි බලාගාර 7000 ස්ථාපිත කෙරෙන බවත්, දේශපාලනමය වශයෙන් ඒ වෙනුවෙන් කිසිදු බලපැමක් ඇති නොවන බවත්, ආණ්ඩු පෙරළියක් ගැන යම් අයෙක් සිහින දකීනම්, ඔහුට අප සුව නින්දක් ප්‍රාර්ථනා කලයුතු බවත් පැවසීය. එසේම මෙතෙක් විදුලිය පහසුකම් නොලැබූ සමෘද්ධිලාභී සහ අඩුආදායම්ලාභී පවුල් වෙත නොමිලයේ විදුලිය සබදතා ලබාදීම සදහා පවුල් 99862ක් හදුනාගෙන ඇති බවත්, පසුගියදා ගිරිබාවෙන් ආරම්භ කළ දැයට එළිය ජාතික වැඩසටහන තුළින් මේ වනවිට නිවාස 1881 ක් වෙත විදුලිය පහසුකම් ලබාදී ඇති බවත්, ඉතිරි පිරිස් අතරින් 37363ක් වෙත එළඹෙන අප්‍රේල් මස අවසන් වීමට ප්‍ර‍ම විදුලි සබදතාව නොමිලේ ලබාදීමට කටයුතු කරන අතර සෙසු සියල්ල වෙනුවෙන් මේ වසර අවසන් වීමට ප්‍ර‍ම විදුලිය ලබාදෙන බවත් පැවසීය.

     

    මෙම අවස්ථාවට සහභාගි වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදහස් දක්වමින්,

    "රටක් වශයෙන් අපි මෙතෙක් කාලයක් සිටියේ අනෙක් රටවල් වලට පසුපසින්. නමුත් දියුණූවන ලෝකයත් සමගින් අනෙක් රටවල් සමග සමසමව යාමටනම්, සමස්ත ලෝකය මෙන්ම අපිත් පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීම අනිවාර්යයි. අතිගරු ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් විදුලිබල ක්‍ෂේත්‍ර‍ය සම්බන්ධයෙන් මේ වනවිට අපට ඉලක්කයක් ලබාදී තිබෙනවා, වසර 2030 වනවිට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% ක් දක්වා ගෙනඒමට. එම ඉලක්ක ජයගැනීමේ එක් පියවරක් වශයෙන් ගමට බලාගාරයක් සංකල්පය අද අපි ක්‍රියාත්මක තලයට ගෙනඒමට සමත් වුණා. මේ යටතේ පළමු අදියර වශයෙන් ඉදිවන සූර්ය බලාගාර 880 ක් වෙනුවෙන් අද දින ටෙන්ඩර් කැදවීම සිදුවුණා. මෙම බලාගාර 7000 වැඩසටහන තුළින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 700ක්, ආයෝජන අවස්ථා 7000ක් මෙන්ම නව රැකියා අවස්ථා රාශියක් බිහිවනවා.

     

    මෙන්ම එතුලින් රටේ ආර්ථිකයට මෙන්ම සමස්ත රටවැසියාට සුවිශේෂී ප්‍ර‍ථිලාභයන් රාශියක් හිමිවීමට නියමිතයි. ගමට බලාගාරයක් සංකල්පය වසර 03 ක් වැනි කාලසීමාවක් තුලදී යතාර්තයක් බවට පත්කර ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 700 ක් ලබාදීමේ අරමුණ වෙනුවෙන් සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් පුර්ණ කැපවීමකින් කටයුතු කරන අතරම , මෙවැනිම තවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් රැසක් හදුන්වාදීමට ඉදිරි කාලසීමාවේදී කටයුතු කරනවා යැයි පැවසීය.

     

    මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, විදුලිබල මණ්ඩලයේ උපසභාපති නලින්ද ඉලංගකෝන්, අතිරේක සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න යන මහත්මහත්මීන් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya