මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      අතීතයේ තිබූ සාමූහික හැඟීම වර්තමානයට ගෙන ආවොත් අපට නැවත ලෝක කුසලාන ජයක් ලබන්න පුළුවන් - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  

    මාර්තු 18, 2021

    අතීතයේ තිබූ සාමූහික හැඟීම වර්තමානයට ගෙන ආවොත් අපට නැවත වතාවක් ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබන්න පුළුවන් යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (17 )පෙරවරුවේ ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා වසර 25ක් සපිරීම නිමිත්තෙන් ක්‍රිකට් විරුවන් ඇගයීම සඳහා අරලියගහ මන්දිරයේ දී පැවති ලෝක කුසලාන විජයග්‍රහණයේ 25 වැනි ජාතික සැමරුමට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

    අග්‍රාමාත්‍ය කාර්යාලය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම ජාතික සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.

    1996 ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) ක්‍රිකට් ශූරයන්ට පිරිනැමූ පදක්කම් මෙතරම් කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තබා තිබූ අතර ඒවා ක්‍රිකට්
    ශූරයන් අතට පත්කරමින් අග්‍රාමාත්‍යතුමාගේ සුරතින්ම එම පදක්කම් ඔවුන්ට ප්‍රදානය කිරීම මෙම ජාතික සැමරුම් උත්සවයේ විශේෂත්වයක් විය.
    ලෝක කුසලාන විජයග්‍රහණයේ 25වන සංවත්සර සැමරුම වෙනුවෙන් QR කේතය සහිත පළමු සැමරුම් මුුද්දරය හා විශේෂ සමරු කවරය තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් ජනමාධ්‍ය
    අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පිරිනමන ලද අතර එතුමා විසින් අග්‍රාමාත්‍යතුමාට සහ 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග මහතාට එය පිළිගැන්වූහ.
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී කළ සම්පූර්ණ කතාව මෙසේ ය.

    අද වෙනකොට ලෝක ක්‍රිකට් කුසලානය දිනාගෙන වසර 25ක් සම්පූර්ණ වෙනවා. ඒ ජයග්‍රහණය අද ඊයේ වගේ තවමත් අපිට මතකයි.දැන් අපේ ක්‍රිකට් පිට්ටනියේ සිද්ධ වෙන දේවල් නිසා
    අපේ මේ ජයග්‍රහණය ක්‍රිකට්ලෝලීන් නිතර නිතර මතක් කරන බව මම කියන්න ඕන.

    මිත්‍රවරුණි,
    අතීතය වැදගත් වෙන්නේ වර්තමානය හදාගන්න. මට මතකයි එදා පිට්ටනියේ සෙල්ලම් කළේ නිකම්ම ක්‍රිකට් ක්‍රීඩකයෝ නෙමෙයි. රට දිනවන්න ඕනෑ කියන හැඟීමෙන් යුතු තරුණ පිරිසක්.
    අපේ ජයග්‍රහණය එදා ආසියාවේ රටවලුත් සැළකුවේ තමන් ලබාගත්ත ජයග්‍රහණයක් හැටියට.
    ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත්, එංගලන්තය ආදී රටවල් එදා අපේ රටේ පැවැත්වෙන ලෝක කුසලාන තරග වලට සෙල්ලම් කරන්න බැහැ කිව්වා. ලංකාවේ ඒ
    වෙලාවේ තිබුණ ත්‍රස්තවාදය, එදා කොළඹ බෝම්බ පිපිරීම් වැනි කරුණු ලංකාවට නොඑන්න හේතු හැටියට කිව්වා. ඒක ඉදිරියට දාලා ලංකාව මඟඇරීම ගැන පුදුම වෙන්න දේකුත් නැහැ.

    අපේ ගුවන්තොටුපළ වගේම අපේ වරායත් ලෝකයේ තියෙන අනාරක්ෂිතම ස්ථාන හැටියට කීප වතාවක් නම් කරලා තිබුණේ. එදා අපේ රටේ සංචාරය කරන අයට අනාරක්ෂිත ප්‍රදේශ පවා නම් කරලා තිබුණා. එබඳු තත්ත්වයක් යටතේ මම ඉහතින් සඳහන් කරපු රටවල් ලෝක කුසලානයට ලංකාවට එන්න බැහැයි කිව්වා.
    මට මතකයි එදා අපේ හිටපු ක්‍රීඩා ඇමතිතුමා කිව්වා සංචාරක කණ්ඩායම් ලංකාවට එනවා නම් ඒගොල්ලෝ නතර වෙලා ඉන්න කාමරය ඉස්සරහා ක්‍රීඩා ඇමති හැටියට මම නිදාගන්නම්, ඔබ
    ඇවිල්ලා ලංකාවේ ක්‍රිකට් ගහන්න කියලා. ප්‍රසිද්ධියේ මාධ්‍යට එහෙම කිව්වත් ලංකාවේ ක්‍රිකට් ගහන්න එන්න එම රටවල් කැමති වුණේ නැහැ.
    ඒ වෙලාවේ ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු ආසියාතික රටවල් වලට තේරුණා ලංකාව දිනනවට තියෙන අකමැත්ත මේ නොපැමිණීමට එක හේතුවක් කියලා. එතකොට ඉන්දියාව පකිස්ථානය ඇතුළු ආසියාතික රටවල් අපේ රටට තම සහෝදරත්වයේ දෑත දිගු කළා. ඒ අය ලංකාවට ඇවිල්ලා ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගවල යෙදිලා අපිට ධෛර්ය දුන්නා.
    අපි ලෝක කුසලානය දිනූ තරඟය පැවැත්වුණේ පාකිස්ථානයේ. ඒ වෙලාවේ පාකිස්ථානය අපිට දුන්න චියර් එක අනුව අපිට පේනවා ඒක ආසියාවේ ජයග්‍රහණයක් හැටියටයි ඒ අය සැළකුවේ.
    එදා තමයි ලංකාවේ ජාතික ධජය ඔසවාගෙන වෙනත් රටවල්වල අය ජය කෙහෙලි නංවපු දවස.


    මිත්‍රවරුණි,


    ඒ විතරක් නොවෙයි මට මතකයි මුරලිදරන් වැනි දක්ෂ දඟ පන්දු යවන්නෙක්ව පිටියෙන් ඉවත් කරන්න ලොකු උත්සහයක් තිබුණා. ඉතාම අසාධාරණ තීන්දු මේ ක්‍රීඩකයාට විරුද්ධව දුන්නා.
    නමුත් ඒ වෙලාවේ හිටපු නායකත්වය මුරලිදරන්ව රැකගන්න ලොකු සේවයක් කළා. මේවා නිසා අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කණ්ඩායම් හැඟීම ඉතාම ඉහළ ගියා. ඒ සිද්ධීන් අද ලෝකයේ
    විශිෂ්ටතම ක්‍රීඩකයෙක් වෙන්න මුරලිට බලපාපු බව මම විශ්වාස කරනවා.
    මේ ලෝක කුසලාන තරගාවලිය ගැන අහපු එක කතාවක් මට මතක් වෙනවා. 1996 ලෝක කුසලාන තරගාවලියේ,ශ්‍රී ලංකා-ඉන්දියා අවසන් පූර්ව වටයේ තරගය පැවැත්වුණේ ඉන්දියාවේ
    ක්‍රීඩාංගණයක. තරගාවලියේ අවසන් භාගය කිට්ටු වෙනකොට ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් කලබල වෙලා ක්‍රීඩාපිටියට දිගටම ගල්, බෝතල් එවන්න පටන් ගත්තා. ඒ දර්ශන එවලේ මුළු ලෝකයම දැක්කා. ඒ වෙලාවේ ක්‍රීඩාපිටියේ හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටියේ කණ්ඩායමේ උපනායක අරවින්ද ද සිල්වා. අපේ අතිරේක ක්‍රීඩකයෙක් හැටියට හිටපු උපුල් චන්දන ගිහිල්ලා හතරේ සීමාවේ හිටපු අරවින්දට කිව්වලු අරවින්ද ඇතුළට යන්න මම හතරේ සීමාවේ සෙල්ලම් කරන්නම් ,ගල්-වැලි-බෝතල් වැදුණොත් අවසන් තරඟය සෙල්ලම් කරන්න ඔයාට බැරි වෙනවා. එහෙම වුණොත් අපි අමාරුවේ වැටෙනවා කියලා. තමන්ගේ ජීවිතය කැපකරන්න තරම් රට ගැන විශාල හැඟීමක් ඒ වෙලාවේ කණ්ඩායමට තිබුණ බව මම කියන්න ඕන. ඒ නිසා මේක මනුෂ්‍යත්වයේ කථාවක්.


    මිත්‍රවරුණි,
    මට මතකයි ලෝක කුසලානය දිනාගෙන මේ කණ්ඩායම ලංකාවට ආව දවස.එදා තිබුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ජනාධිපති ධූරය දැරූ අපේ ආණ්ඩුවක්. අර්ජුන
    රණතුංගගේ පියා ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියටත් හිටියා. නමුත් අර්ජුන රණතුංග ලෝක කුසලානය අරගෙන ගියේ එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අභවප්‍රාප්ත වුණ ගාමිණි දිසානායක මහත්තයාගේ ගෙදරට.

    එහෙම යන්න හේතු වුණේ ලෝක කුසලානය දිනාගන්න ගාමිණී දිසානායක මහතාගේ පාලන කාලයේ දාපු පදනමට ගෞරවයක් වශයෙන්. ඒ නිසා අද අපි මේ සමරන්නේ මනුෂ්‍යත්වයේ
    කථාවක්. ක්‍රිකට් පිටියේ මනුෂ්‍යත්වයේ කථාවට වසර 25ක් පිරෙන්නේ අද. එදා ක්‍රිකට් ගහපු ප්‍රවීණයන්ගේ (ලෙජන්ඩ්ස්-LEGENDS) ක්‍රිකට් තරඟ මේ දිනවල පැවැත්වෙනවා.
    ඒ අය පිට පිට ජයග්‍රහණය කරන බවත් පේනවා. ඒ ජයග්‍රහණයේ රහස ක්‍රිකට් ක්‍රීඩාවේ පහසුකම්වත්, මුදල්වත් නෙමෙයි. අතීතයේ විනයානුකූලව ක්‍රීඩා කිරිමෙන් ලබාගත් පුහුණුව. අතීතයේ
    ක්‍රීඩකයින් තුළ තිබුණු සාමුහිකත්ව හැඟීම. ඒ සාමූහිකත්වය නිසා තමයි ඒ අය ලෙජන්ඩ්ස්ලා වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි අපිට ලෝක කුසලානය ගේන්න පුළුවන්කම ලැබුණේ.


    මිත්‍රවරුණි,
    අපිට අතීතය තියෙන්නේ වර්තමානය හොඳින් ගොඩනගා ගන්න. අද අපිට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගා ගන්න හොඳම පාඩමකට තියෙන්නේ ඒ අතීතයයි. ඒ අතීතය වර්තමානයට ගෙනාවොත් අද අපි ඉන්න දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මිදෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අතීතයේ තිබුණ සාමූහික හැඟීම, මනුෂ්‍යත්වයේ කථාව වර්තමානයට ගෙනාවොත් අපිට නැවත වතාවක් ඒ වගේ ජයග්‍රහණයක් ලබන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඔබ සැමට තෙරුවන්සරණයි ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වීඩියෝ තාක්ෂණයෙන් මෙම උත්සවය ඇමතුවේය.


    1996 ලෝක කුසලාන ජයග්‍රහණය කරලා අදට අවුරුදු 25 ක් වෙනවා. මම විශ්වාස කරන විදියට එදා අපි කුඩා පාසල් දරුවෝ විදිහට මේ ලෝක කුසලාන ජයග්‍රහණය කරනවා නැරඹුවා.
    එදා අපි විශ්වාස කළා මේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරය ජයග්‍රහණය කිරීම සඳහා හැකියාව සහ අවකාශය තිබෙනවා කියලා.
    1996 ලෝක කුසලාන ජයග්‍රහණය අපේ රටේ ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂය ලෙස හැඳින්වුවහොත් නිවැරදියි.
    ඒ ආපු ගමන තුළ පසුකාලීනව අපි ජයග්‍රහණ බොහොමයකට මුහුණ දෙන්න අපට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි 1996 පටන් ගත්තම පන්දුවාර පනහේ ලෝක කුසලාන දෙකකට අපි අවසාන මහා තරගයට ඇවිල්ලා තියනවා.
    ඒ වගේම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිවල ඒ ආකාරයෙන්ම අපි අවසාන තරග වලට ඇවිල්ල තියෙනවා. ඒ වගේම 2014 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය
    කරන්නත් අපට හැකියාව ලැබුණා. මේ සියල්ලටම අඩිතාලම ලැබුණේ එදා 1996 ලෝක කුසලාන ජයග්‍රහණය. ඒ වගේම තමයි ඒ ජයග්‍රහණය කරපු කණ්ඩායම දිහා බැලුවම අපි ලෝක කුසලානයක් ජයග්‍රහණය කරලා රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාගන්න දායකත්වයක් ලැබුණා.
    අද කුමාර් ධර්මසේන, රොෂාන් මහනාම වැනි අය ICC විනිසුරුවන් විදියට ලෝක ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා දී තියෙනවා. ඒ
    වගේම අද මේ 1996 කණ්ඩායම තුළත් ජාතික සහ ජාත්‍යන්තර තලයේ පුහුණුකරුවන් බොහොමයක් බිහි වෙලා තියෙනවා.
    මේ අවස්ථාවේ ඩේව් වට්මෝර් පුහුණුකාරතුමා මතක් කළ යුතුයි. එවකට සිටි පුහුණුකරු වගේම එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ කළමනාකරු, ගරු සභාපතිතුමා ඇතුළු ඒ සියලුම
    කළමනාකරුවන් වගේම මේ ජයග්‍රහණ සඳහා උර දුන් කැපවුණු සියලු දෙනාම විසි පස් අවුරුද්දක් සමරන මේ අවස්ථාවේ අපි සිහිපත් කරනවා.
    අපි දන්නවා අපේ රටේ ක්‍රීඩාව ගැන කතා කරනකොට අපේ ක්‍රිකට් ක්‍රීඩාව තමයි ප්‍රමුඛතම ක්‍රීඩාව විදිහට කතා කරන්නෙ. ක්‍රිකට් වල අපේ නැගිටීම් තියෙනවා වැටීම් තියෙනවා. මේ හැම
    අවස්ථාවකම මං හිතන්නේ රටක් ජාතියක් විදිහට අපි එකතුවෙලා මේ ක්‍රීඩාව ජයග්‍රහණය කිරීම සඳහා අපි පෙළ ගැසිය යුතුයි.
    1996 ලෝක කුසලාන ජයග්‍රහණය කරපු කණ්ඩායමේ සාමාජිකයන් ඉතාමත් ක්‍රියාශීලීව මැදිහත්වෙලා ක්‍රිකට් වැටිච්ච හැම අවස්ථාවකදිම ක්‍රිකට් නංවන්න දායකත්වය දී තියෙනවා.
    මම හිතන්නේ ඉදිරි කාල සීමාව තුළ නවක ක්‍රීඩකයන්ට ආදර්ශයක් වෙමින් නවක ක්‍රීඩකයන් ව ඉදිරියට ගෙන එන්නත් ඉදිරි අනාගතය තුළ නැවත වතාවක් ලෝක කුසලාන ජයග්‍රහණය
    කරන්න පුළුවන් කණ්ඩායමක් අපේ රටෙන් බිහි කරන්නත් මේ පිරිසගේ දායකත්වය ලැබෙයි කියලා අපි දැඩි සේ විශ්වාස කරනවා.
    පරාජය සහ ජය කියන දේ ක්‍රීඩාවේ කොටසක් හැබැයි කණ්ඩායම් හැඟීම ජාතිකත්වය රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියන කාරණය තමයි අප සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ.
    එසේ ක්‍රීඩා කෙරුවොත් ඔබ ජයග්‍රහණය කරා වගේ ඉදිරි කාල සීමාව තුළත් අපට ලෝක කුසලාන ජයග්‍රහණය කරන්න පුළුවන් කණ්ඩායම් අපේ රටේ නිර්මාණය වෙයි.
    අවසාන වශයෙන් පෞද්ගලිකව මට අද මේ උත්සවයට සහ සම්බන්ධ වීමට නොහැකිවුණත් ගරු අග්‍රාමාත්‍යතුමාට අපි ස්තුතිවන්ත වෙනවා එතුමාගේ මැදිහත්වීම සහ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය
    කරපු නායකයෙක් විදිහට සහ ක්‍රීඩාවට ආදරේ කරපු නායකයෙක් විදිහට අද ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණයේ අවුරුදු 25 ක් සමරන මේ අවස්ථාව සඳහා අපට අවකාශය ලබා දීම පිළිබඳව
    යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    ලෝක ක්‍රිකට් කුසලානය දිනූ කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා.

    අගමැතිතුමනි අපිට මතකයි ජාත්‍යන්තරයේ අපි එතරම් ප්‍රසිද්ධ නැති කාලෙත් ඔබතුමා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් වුණා. අපි වාර්ෂිකව හමුවන හැම අවස්ථාවකම විශාල දායකත්වයක් දුන්නා.
    අපි කණ්ඩායමක් ලෙස ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. වසර 25ක් ගිහිල්ලත් මේ රටට අපිව අමතක වෙලා නැහැ. මට වාසනාව ලැබුනා පෞද්ගලික පරමාර්ථ, මුදල් පසුපස නොයන රටට
    කැපවීමෙන් ක්‍රීඩා කළ කණ්ඩායමකට නායකත්වය දෙන්න.
    පරිපාලන ගැටලු කෙනෙහිලිකම් අපිට තිබුණත් අපි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ලෙස තරුණ ක්‍රීඩකයින්ට එහි පීඩනය දුන්නේ නැහැ.
    මම ඉල්ලීමක් කරනවා පසුගිය කාලේ ක්‍රිකට් වලට වෙච්ච දේ ගැන හොයලා බලන්න, ක්‍රීඩා අමාත්‍යතුමාගේ නායකත්වයෙන් නිවැරදි පරිපාලනයකින් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න කටයුතු කරන්න කියලා යැයි අර්ජුන රණතුංග මහතා පැවසීය.
    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, 1996 ක්‍රිකට් ලෝක ශූරතාව දිනා ගන්නා අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක, එවකට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ජීවන් කුමාරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ක්‍රිකට් සභාපති (1996) ආනා පුංචිහේවා, ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල, තැපල්පති රංජිත් ආරියරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරින්, ලෝක ශූර කණ්ඩායමේ සාමාජිකයකන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya