මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුවසැරිය පළමු උපපොළ විවෘත කෙරේ

    මාර්තු 18, 2021

    මිරිහාන පොලිස් ස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත කළ 1990 සුවසැරිය පළමු උපපොළ විවෘත කිරීම පසුගිය දින සිදු විය.

     

    අපේ රටට ඉතාම හොඳ සෞඛ්‍ය සේවයක් තිබෙන නමුත් පවතින ගිලන් රථවලින් බොහෝවිට සිදුවූයේ රෝහලක සිට තවත් රෝහලකට රෝගීන් ගෙනයාම පමණක් වන අතර තිබුණු ලොකු අඩුපාඩුවක් වූයේ නිවසේ රෝගීවන අයෙක් ඉතා ඉක්මණින් රෝහලකට ගෙනයන්නේ කෙසේද යන්න බවත් එහෙත් 1990 සුවසැරිය ගිලන්රථ සේවාව හරහා එම අඩුපාඩුව මගහරවා ගනිමින් ලංකාව පුරා ග්‍රාමීය ජනතාව වෙත විශාල සේවාවක් ඉටුකිරීමට හැකියාව ලැබී ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

    අමාත්‍යවරිය මේබව සදහන් කකළේ, මිරිහාන පොලිස් ස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත කල 1990 සුවසැරිය පළමු උපපොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    මොන රජය ආරම්භ කළත් හොඳ වැඩපිළිවෙල ආරක්ෂා කළ යුතු බවත් එබැවින් සුවසැරිය වැඩපිළිවෙල ව්‍යාප්ත කිරීමට ශක්තිමත් කිරීමට රජයක් හැටියට කැපවෙන බවත් සදහන් කල රාජ්‍ය අමාත්‍යවරිය මේ සදහා ආධාර අනුබල දුන් ඉන්දියානු රජයටත්, අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය ජනතාවටත් සිය ස්තුතිය ප්‍රකාශ කල අතර සුවසැරිය වැඩපිළිවෙල ස්ථාපිත කිරීමට මැදිහත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාටද සිය ස්තූතිය මෙහිදී පලකළාය.

    සුවසැරිය කාර්ය මණ්ඩලයේ රෝගී සත්කාරය විශිෂ්ඨ කාර්ය භාර්ය කෙටිකාළයක් තුළ රෝගියා රෝහල් ගත කිරීමට, රෝගියාගේ ජීවිතය ආරක්ෂා කිරීමට මෙන්ම කොවිඩ් 19 මැඩලීමේ සටනේදී බය නැතිව එම රෝගීන් ප්‍රවාහන කිරීමට දැක්වූ දායකත්වය, සහයෝගය අගය කරන බවත් අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී සඳහන් කළාය.

    මෙම අවස්ථාවට සහභාගී වූ මහජන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සදහන් කර සිටියේ සුවසැරිය ව්‍යාපෘතිය තමන්ගේද ගෞරවයට පාත්‍රවූ රටේ බොහෝ ජීවිත ගණනාවක් බේරාගැනීමට හැකියාව ලැබුණු සුවිශේෂී ව්‍යාපෘතියක් බවයි. ඉතාම කාර්යක්ෂම කාර්ය මණ්ඩලයක් සිටින සියලුම ජනතාවගේ සිත්ගත් එමෙන්ම සමස්ථ ජනතාවටම සේවයක් ඉටුකෙරෙන මෙම ව්‍යාපෘතිය අනෙකුත් ආයතනවලටත් ආදර්ශයක් බව පෙන්වාදුන් අමාත්‍ය වීරසේකර මහතා කියා සිටියේ සුවසැරිය වැඩපිළිවෙල පිළිබදව ජනතාව තුළ යහපත් විශ්වාසයක් ගොඩනැගී ඇති බවයි.

    සුවසැරිය පළමු උපපොල විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේ, වෛද්‍යවරියක් වන සුදර්ශිනී ඇමතිතුමිය දේශපාලනයට පිවිසියේ වෘත්තීයවේදිනියක් ලෙස බවත් එතුමිය තේරුම් අරගෙන තිබෙන කවුරු ආරම්භකළත් එය රටට හොද වැඩක් නම් ඉදිරියට රැගෙනයායුතු බව තේරුම්ගැනීම පිළිබදව සිය ගෞරවය ඇය වෙත පුදකරන බවයි. රටවල් දියුණුවූයේ එවැනි සිතුම්පැතුම් සමග බවත් විදෙස් රටවල පවා වැඩපිළිවෙල ආරම්භ කළේ කවුද යන්න නොවිමසා හොඳ වැඩක් නම් එය ඉදිරියට රැගෙන යන බවත් සදහන් කළ මන්ත්‍රීවරයා, සුවසැරිය ව්‍යාපෘතියට එරෙහිව විපක්ෂයක් රටතුළ දැන් නොපවතින බවත් වැඩපිළිවෙල තව තවත් දියුණු කිරීමට තමන් ඉන්දියානු රජයෙන් ඉල්ලා සිටින බවත් සදහන් ක‍ළේය.

    1990 සුවසැරිය ගිලන්රථ සේවයට මේවන විට ලක්ෂ 35කට වැඩි දුරකතන ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇති අතර දිනකට 5000කට අධික දුරකතන ඇමතුම් ප්‍රමාණයක් ලැබේ. 780,000කට වඩා වැඩි ප්‍රමාණයකට සේවාව සපයා ඇති අතර දිනකට 1000කට වඩා වැඩි ප්‍රමාණයක් රෝහල්ගත කිරීමට දායකවේ. 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලය 1394ක් සිටින අතර ගිලන් රථ 297කින් යුක්තය. ලංකාවේ සියලුම පළාත් ආවරණය වන පරිදි සේවය සපයනු ලබන අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සුවසැරිය ගිලන් රථ සේවය ඩොලර් මිලියන 22ක ඉන්දියානු ආධාර මත ආරම්භ කළ ව්‍යාපෘතියක් වන මෙය ජනතාවට නොමිලේ සේවාව සපයනු ලබන අතර අදවන විට සම්පූර්ණයෙන්ම රජයේ මුදලින් නඩත්තු වන ආයතනයකි.

    1990 සුවසැරිය ගිලන්රථ සේවයේ පළමු උපපොල මිරිහාන පොලිස් ස්ථාන පරිශ්‍රයේ පිහිටුවා ඇති අතර එහි ගිලන්රථය නවතා තැබීමට ස්ථානයක්, කාර්ය මණ්ඩලයට විවේක ගැනීමට ස්ථානයක්, ඔක්සිජන් ඇතුළු වෛද්‍ය උපකරණ ගබඩා කිරීමට ස්ථානයක් ආදී කටයුතු සදහා ඉඩපහසුකම් සකස්කර ඇත.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්, සුවසැරිය සභාපති දුමින්ද රත්නායක, සුවසැරිය ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya