අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්නත්කරණය සම්බන්ධයෙන් කිසිදු දේශපාලනික බලපෑමකට අවකාශයක් නැහැ - සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ.

    මාර්තු 09, 2021

    එන්නත්කරණය සම්බන්ධයෙන් කිසිදු දේශපාලනික බලපෑමකට අවකාශයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

     

    ඔහු මේ බව පැවසුවේ අද දින (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    එන්නත්කරණය සම්බන්ධයෙන් කිසිදු දේශපාලනික බලපෑමක් සිදුනොවන බවට වගබලාගන්නා ලෙස ජනාධිපතිතුමත් සෞඛ්‍ය ඇමතිතුමියත් උපදෙස් ලබාදී ඇති අතර එය සෞඛ්‍ය අංශ වලට
    අවශ්‍ය පරිදි විධිමත් ලෙස කළමනාකරණය කළ වැඩසටහනක් වශයෙන් රෝගය පැතිරීම ප්‍රමුඛව සිදුවූ බස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වල කොරෝනා රෝගීන් වැඩි වශයෙන්
    හමුවූ ප්‍රදේශ කේන්ද්‍රගත කරගනිමින් වැඩසටහන ක්‍රියාත්මක වන බව වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

    එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ බලය සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු කාර්යය මණ්ඩල මගින්
    සිදුකරන බවද ඊට දේශපාලනික බලපෑම් කිරීමට කිසිවෙකුට හැකියාවක් හෝ අවකාශයක් නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    එවැනි කිසිම බලපෑමකට කවුරුන්හෝ සෞඛ්‍ය සේවකයන්ව නතුකරගැනීමට හදයි නම් එයට යටත් නොවන ලෙස සහ ස්වාධීනව විශාල කටයුතුතක් මේ රට වෙනුවෙන් ඔවුන් සිදුකර ඇති
    බවත්, එවැනි දේශපාලන බලපෑම් පිළිබදව රජය පැහැදිලිව එය ප්‍රතික්ෂේප කරන අතර එවැනි කිසිදු කටයුත්තකට ඉඩක් නොමැති බවද ඒ සම්බන්ධයෙන් පැමිණිලි තිබේ නම් ඒ පිළිබදව කටයුතු
    කිරීමට හැකියාවක් පවතින බවද අමාත්‍යවරයා කියා සිටියේය.

    අනෙකුත් රට වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට දැනට ලැබී තිබෙන එන්නත් ප්‍රමාණය පිළිබදව අප සතුටට පත්විය යුතු අතර දැනටමත් එකම මාත්‍රාවක්වත් නොලැබුණු රටවල් 110කට අධික
    ප්‍රමාණයක් ලොව තිබෙන බවත් සිහිපත් කළ අමාත්‍යවරයා කියා සිටියේ එන්නත් මිලියන 1.26ක ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඉදිරියේදී තවත් මිලදීගැනීමට බලාපොරොත්තු වන එන්නත්
    ප්‍රමාණයේ තවත් මිලියනයක් ලංකාවට ලැබීමට යෝජිතව ඇති අතර එහිදී ඉන්දියාවේ එන්නත් නිෂ්පාදන සමාගමේ ඇතිවූ ගින්නක් හේතුවෙන් සුළු ප්‍රමාදයක් ඇතිවිය හැකි බවයි. නමුත් එම
    සමාගම අප විසින් කළ ඇණවුම ගරුකරන බවත් ඉදිරියේදී හැකිතාක් ඉක්මණින් එම එන්නත් ලබාදීමට කටයුතු කරන බවත් පවසා ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

    පළමු වටයේ එන්නත ලබාගත් පිරිස් සදහා දෙවන වටයේ එන්නත ලබාදීමට තව සති කිහිපයක් ඇති අතර ඉදිරියේදී එම එන්නත් ප්‍රමාණය ලංකාවට ලැබෙනු ඇතැයිද එනම් පළමු මාත්‍රාව
    ලබාගත් අයට දෙවන මාත්‍රාව ලැබිය යුතු කාලසීමාව තුළ එම දෙවන මාත්‍රාව ලබාදීමට හැකියාව රජයට පවතිනු ඇති බව වගකීමෙන් ප්‍රකාශ කරන බව පැවසුවේය.

    දැනට ඉරණතිව් ප්‍රදේශයේ කොරෝනා මෘතදේහ භූමදානය පිළිබදව තීන්දුවක් ලබාදී නොමැති බවද, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනට අවසර ලබාදී ඇත්තේ මඩකලපුව ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ
    භූමදාන කටයුතු සිදුකිරීමට පමණක් බව වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කළේය. එම නිසා ඒ පිළිබදව විධිමත් අධ්‍යයනයකින් පසුව තීන්දුව ගතයුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින්
    බවද දැනට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී ඇත්තේ ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ භූමදාන කටයුතු වලට පමණක් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවේ සියලුම ජනකොට්ඨාශ සම්මිශ්‍රණයකට එනම් ජනප්‍රිය මෙන්ම ජනප්‍රිය නොවන පුද්ගලයින් සහ එන්නත අත්‍යවශ්‍යයෙන්ම ලබාදිය යුතු පුද්ගලයින් යන සෑම පිරිසකටම ප්‍රමුඛතාවය
    අනූව කාණ්ඩ හදුනාගෙන මෙම එන්නත්කරණය සිදුකරන අතර ප්‍රසිද්ධ පුද්ගලයින්ට එන්නත ලබාදීම හරහා එන්නත පිළිබදව විශ්වාසයක් ජනතාව අතර ඇතිවන බවද වෛද්‍ය රමේෂ් පතිරණ
    මහතා පැවසුවේය. ප්‍රසිද්ධ පුද්ගලයෙකු වන සනත් ජයසූරිය මහතාට එන්නත ලබාදීම ප්‍රාථමික සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ස්ථානමාරුවට කිසිදු සම්බන්ධයක් නොමැති බවද ඔහු
    අවධාරණය කළේය.

    දැනටමත් රුසියානු රජය ශ්‍රී ලංකාවට ස්පුට්නික් 5 එන්නත් ලබාදීමට කැමැත්ත පළකර ඇතැයිද එම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සහ ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන
    අධිකාරියේ අනුමැතිය ලැබීමේන පසු එම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි බවත් පැවසුවේය.

    එන්නත්කරණය සදහා රජය සහ සෞඛ්‍ය අංශ දැනට ප්‍රමුඛතාවය ලබාදී ඇත්තේ රෝගය දැඩි ලෙස පැතිරීගිය ජනතාවට එන්නත්කරණය සදහා බවත් ඒ හරහා රෝගය පාලනය කිරීමේ නිශ්චිත
    ප්‍රතිරූපය මවාගත හැකි බවත් පැවසුවේය. දැනටමත් ඒ සදහා හොද ප්‍රතිඵල ලැබෙමින් පවතින බවද කියා සිටියේය. එමෙන්ම විදේශයන්හි අධ්‍යාපනය හදාරණ දරුවන් සදහාද එන්නත ලබාදීම
    වැදගත් වන අතර එවැනි ප්‍රමුඛතාවය මත එන්නත් ලබාදිය යුතු කණ්ඩායම් කිහිපයක් එනම් කර්මාන්තශාලාවල සේවය කරන්නන්, සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් ආදී පිරිස් සදහා
    එන්නත් ලබාදීමට අවධානය යොමුකර ඇති බවද ඉදිරියේදී එන්නත් ලැබීමේ ප්‍රමාණය සමග අදාල ප්‍රමුඛතාවයන් නීර්ණය කරගෙන එන්නත ලබාදීමට හැකියාව තිබෙන බවද අමාත්‍යවරයා
    සදහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya