මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවියා ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට වත්මන් රජය වී මිලදී ගැනීම රුපියල් 50 දක්වා වැඩි කළා- අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

    පෙබරවාරි 23, 2021

    ගොවියා ආර්ථික වශයෙන් ශක්තිමත් පුද්ගලයෙකු කිරීමට වත්මන් රජය පළමු වරට වී මිලදී ගැනීම රුපියල් 50 දක්වා වැඩි කිරීම සිදුකළ බව සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.

     අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද දින (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රජය එම තීරණය ගනු ලැබුවේ ප්‍රථමයෙන්ම ගොවියා ආරක්ෂා කරගැනීමටත්, පාරිභෝගිකයා ආරකෂා කරගැනීමටත් මෙන්ම ගොවිතැන වාණිජමය වටිනාකමක් ඇති බෝගයක් වශයෙන් සිදුකර රටේ මූලික අවශ්‍යතාවය සපුරාලීමේ වැඩපිළිවෙලට දායක වීම පවතින රජයේ වගකීමක් වශයෙන් දුටු නිසා බැවිනි.

    පසුගිය කාල වකවානුව තුළ වී මිල රුපියල් 14ට, 20ට, 26ට සහ 28ට පැවති බවද වත්මන් රජය රට භාරගන්නා අවස්ථාවේදී වී මිල පැවතියේ රුපියල් 30ට බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය. ගොවියාට පොහොර සහනාධාරය, ජලසම්පාදනය ආදී සියල්ල නොමිලේ ලබාදුන් අතර 1948 සිට මෙරට පැවති මතයක් වන ගොවියා රජකළ යුතුයි යන්න සහ මේ රටේ හරය වන භූමිය සමග පොරබදින ගොවියාත් කෘෂිකර්මයත් ආරක්ෂා කරමින් ගොවියාට අවශ්‍ය ආර්ථික වටිනාකමක් ලබාදිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

    එමෙන්ම වසුගිය වකවානුවේ වෙනත් කිසිම රජයකින් එය සිදුනොවුණු බවද, තමාගේ භෝගයට සාධාරණ මිලක් නොලැබීම හා ණය තුරුස් ගෙවාගත නොහැකිව අනන්ත අප්‍රමාණ ගොවියන් වස පානය කළ ඉතාමත් කටුක අමිහිරි අතීතයක් පැවති අතර එය අමතක කළ නොහැකි බවද අමාත්‍යවරයා පැවසුවේය.

    පෞද්ගලික අංශය වී මිලදීගැනීමේ තරගය තුළ රජයට වඩා රැපියලක් දෙකක් වැඩි මිලකට ගොවියාගෙන් වී මිලදීගැනීමට ඉදිරිපත් විය හැකි අතර ඒ සම්බන්ධයෙන් වෘත්තීයමය සහ ක්‍රියාත්මක වැඩපිළිවෙලක් සකසමින් එම අභියෝගය භාරගැනීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා පැවසුවේය.

    ඒ අනූව රුපියල් 50ට අවම මිල සදහන් කළද ඊට එහා මිලක් යම් තැනකින් ලැබුණහොත් එම මිලට සමාන්තර මිලක් යම්කිසි විදියේ යාන්ත්‍රණයක් හරහා කෘෂිකර්ම අමාත්‍යංශයේ ඇති ආයතන හරහා මිලදී ගැනීමට තීන්දු කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

    මෙම තීරණය ගනු ලබන්නේ ගොවියා සහ පාරිභෝගිකයා රැකගැනීමේ වගකීම රජය සතුව පවතින නිසා වන බව අවධාරණය කළේය. වෙළෙන්දාට ඇත්තේ ගොවියා සහ පාරිභෝගිකයා රැකගැනීමේ උවමනාව නොව තම ලාභ ප්‍රයෝජනය උපරිම ගැනීම සදහා මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔවුන් උත්සාහ දරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    ගොවියාට ලබාදී ඇති වී මිල යටතේ තරගකාරී ලෙස වුවද රජය වී මිලදී ගැනීමට අපේක්ෂා කරන අතරම රජයක් හැටියට ඒ සදහා යන වියදම් සියල්ලම ජනපතිතුමන් තක්සේරු කර ඇති බවද එම තක්සේරුව අනූව ගොවියාගෙන් රුපියල් 50ට වී කිලෝව ලබාගතහොත් පාරිභෝගිකයාට සහල් කිලෝව රුපියල් 98ට ලබාදීමේ හැකියාව රජය සතුව පවතින බවද අමාත්‍යවරයා පැවසුවේය.

    ගොවියාගේන් 53ට වී මිලදී ගත්තද පාරිභෝගිකයාට සහල් 98ට ලබාදෙන බවට සහතික වන බවද තුළනතාවය පවත්වාගන්නා ලෙස රජය ඉල්ලා සිටින බවද යම් පාඩුවක් වේ නම් පාරිභෝගිකයා සහ ගොවියා වෙනුවෙන් එම පාඩුව රජය භාරගෙන එය වෙළද අංශයට දායක කරගැනීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

    රුපියල් 50ක මිල ගොවියාට ඉතා සාධාරණ මිලක් වන අතරම එය ඔවුන්ගේ වගා කටයුතු ඉතා සාර්ථකව පවත්වාගැනීමට ප්‍රමාණවත් බැවින් ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සිදුකළ මෙම කර්තව්‍ය බවද රජයට වී ලබාදෙන ලෙස ගොවියන්ගෙන් ඉල්ලාසිටින බවද ඔහු අවධාරණය කළේය.

    පාර්භෝගිකයා අපහසුතාවයට පත්කිරීමට යම් යම් වෙළද සමාගම් උත්සාහ කරන්නේ නම් එම අභියෝගයටද මුහුණදීමට රජය සූදානම් බව අමාත්‍යවරයා පැවසුවේය.

    මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් ගොවියන් පාලන මිලට රජයට වී ලබානොදුන්නොත් පොහොර සහනාධාරය කප්පාදු වීමක් කරනවාද යනුවෙන් යොමුකළ පැනයට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ ගොවියා සහ පොහොර අතර තියෙන් සම්බන්ධය ඉදිරිපත් කරන මත අනූව ක්‍රියාත්මක නොවන බව සහ ගොවියාට සියලු සහන ලබාදී ඇති අතර රුපියල් 50ක් වැනි ඉහල මිලක්ද ලබාදී ඇති බැවින් රජයට එම මිල යටතේ වී ලබාදෙන ලෙස ගොවියාගෙන් ඉල්ලීමක් කළ බවද අමාත්‍යවරයා පැවසුවේය.

    යම්කිසි අවස්ථාවක වෙළද ව්‍යාපාරිකයන් එයට අභියෝග කරමින් ඊට එහා යන්නේ නම් ඖනෑම අභියෝගයකට මුහුණදී එම ප්‍රමාණයෙන්ම රජයත් මැදිහත්වීමක් කිරීමට බලාපොරොත්තු වන බව පැවසුවේය. එයින් කිසිදු අවස්ථාවක කිසිම ආකාරයෙන් පොහොර සහනාධාරයට බාධාවක් හෝ එය කිසිදු අවස්ථාවක කප්පාදු කිරීමක් සිදුනොකරන බවට සහතික වන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේය.

    ඉතිහාසයේ ප්‍රථම වරට මෙරට කෘෂිකර්මාන්තයෙන් යැපෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ජනපතිතුමන්ගේ සහ අගමැතිතුමන්ගේ රජය යටතේ වී සදහා ඉතාම හොද මිලක් ලැබෙමින් පවතින බවද එතැනින් එහාට ගොස් තරගකාරී ලෙස වී මිලදී ගැනීමද රජය විසින් සිදුකරන බව මෙන්ම රජයක් හැටියට පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට රැපියල් 98ට සහල් ලබාදීමේ වැඩපිළිවෙල සදහා අවශ්‍ය ක්‍රමවේදය සිදුකිරීමටද බලාපොරොත්තු වන බව මෙහිදී වැඩිදුරටත් පැහැදිලිකිරීමක් සිදුකරමින් සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya