මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලාංකීය විදුලිබල ක්ෂේත්‍රයේ තවත් එක් වර්තනීය ලකුණක් ඉදිරියේ, ඇසින් දුටු සාක්ෂිකරුවන් බවට අද අපි පත්වෙලා

    පෙබරවාරි 17, 2021

    ශ්‍රී ලාංකීය විදුලිබල ක්ෂේත්‍රයේ තවත් එක් වර්තනීය ලකුණක් ඉදිරියේ, ඇසින් දුටු සාක්ෂිකරුවන් බවට අද අපි පත්වෙලා. පළමු වතාවට ශ්‍රී ලාංකීය බලශක්ති ක්ෂේත්‍රයට ඝන අපද්‍රව්‍ය දහනයෙන් බලශක්තිය ලබාගැනීම අද ආරම්භ වෙනවා. මෙය බලශක්ති විප්ලවයේ තීරණාත්මක අවස්ථාවක්. ඒවගේම අද දවසේ අපි ‍මේ සිදුකරන්නේ, ජාතික බල පද්ධතිය පණගැන්වීමම පමණක් නොවෙයි. ඊට අමතරව පරිසරයට ආදරය කරන, ලස්සන රටක හීනය සදහා තබන යෝධ පියවරක් වශයෙන් මේ අවස්ථාව ඉතිහාසගත වේවි. මෙය මෙගාවොට් 10 ක විදුලි බලාගාරයක් ලෙස පමණක් ලඝු කරන්නෙපා. කසල අකුසලයෙන් රට මුදා ගැනීමේ යෝධ පියවරක් තමයි අද මේ අපි තබන්නේ" යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

     

    කෙරවලපිටිය ඉදිවූ ඝන අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීමේ පළමු බලාගාරය ජාතියට දායාද කිරීමේ අවස්ථාවට එක්වෙමින්, අමාත්‍යවරයා මේ බව පැවසීය. අද (17) පෙරවරුවේ පැවති මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගි විය.

    මෙම බලාගාරයෙන් කසල ටොන් 700 ක් යොදා ගනිමින් මෙගාවොට් 10 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන අතර කොළඹ මහා නගර සභිව විසින් සපයනු ලබන නාගරික ඝන අප ද්‍රව්‍යයන් මගින් මෙම බලාගාරය ක්‍රියාත්මක වේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව පුනර්ජනනීය බලශක්ති දායකත්වය වර්ධනය කරමින්, රටේ බලශක්ති ගැටලුවට ස්ථිරසාර විසදුම් ලබාගැනීමට අමතරව, රටේ කසල ගැටළුවටද මෙම බලාගාර ඉදිකිරීම කදිම විසදුමක් ලෙස හදුන්වා දීමට හැක.

    අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්,

    "අප 21 වන ශත වර්ෂයට පා තබන විට අපට තිබුණේ, ජල විදුලියත්, පොසිල ඉන්ධන දහනයෙන් උපයා ගන්න බලශක්තියත් පමණයි. නමුත් 21 ශතවර්ෂයේ 3 වන දශකයට අපි පා තබන විට දැවැන්ත වෙනස්කම් රාශියක් සිදුවෙලා. ජේ.ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලාංකීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගතිශීලී තීන්දු තීරණ රාශියක් ගත් නායකයෙක්. ගරු අගමැති මහින්ද රාජපන්ෂ මැතිතුමා ඉන් බොහෝ ඉදිරියට ගිය නායකයෙක්. ඒ වගේම අද ඝන අපද්‍රව්‍ය වලින් විදුලිය නිපදවීමත් එතුමාගේ නමින් ඉතිහාසගත වුණා. ඒ වගේම පළමු එල්.එන්.ජී. බලාගාරයේ සමාරම්භයත් මාර්තු 05 දා කෙරවලපිටිය ප්‍රදේශයේදී එතුමාගේ නමින්ම ඉතිහාසගත වීමට නියමිතයි.

    ඩීසල් වලට වඩා වැඩි මුදලක් එක ඒකකයකට ගෙවන්න, ලංකා විදුලිබල මණ්ඩලය මේ තීන්දුව ගත්තේ පහසුවෙන් නොවෙයි. විදුලි බල මණ්ඩලය මේ අවස්ථාවේ ඔවුන් මිල ගැන සිතුවේ නැහැ. ඔවුන් සිතුවේ මෙය ජාතික යුතුකමක් හැටියටයි. එහි ගෞරවය විදුලිබල මණ්ඩලයට ලැබිය යුතුයි. මෙම අවස්ථාවට පාර්ශව 03 ක් සම්බන්ධ වෙනවා. ආණ්ඩුව, පුද්ගලික අංශයේ සමාගම් සහ පළාත් පාලන ආයතන. ජාතික උවදුරකදී ගෝත්‍රිකව, ප්‍රාථමිකව බෙදෙන්නේ නැති දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය විය යුතුයි. අතිගරු ජනාධිපතිතුමාගේ සිහිනය තමයි රටේ අග නගරය කසල වලින් තොර, අපද්‍රව්‍ය වලින් ශූන්‍ය නගරයක් බවට පත් කිරීම. එපමණකින් නොනැවතී එතනින් ඹබ්බ්ටත් සමස්ත දිවයිනටම මෙය ගෙන යා යුතුයි.

    මේ සතිය ශ්‍රී ලාංකීය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සතියක්. ලංකාවේ කුඩා සූර්ය බලාගාර 7000 ක් ස්ථාපිත කිරීමට 15 දා කැබිනට් අනුමැතිය ලැබුණා. අද 17 දා පළමු කසල ව්‍යාපෘතිය ජාතියට දායාද කරනවා. හෙට ලංකාවට ස්වභාවික වායු සැපයීමේ ජාත්‍යන්තර ටෙන්ඩරය ලෝකයට විවෘත කරනවා. මේ සතිය වෙනස් සතියක්. මේ සතිය තුළ අපි ඉතිහාසය අළුතෙන් ලියනවා. බයෝ ගෑස් වලින් විදුලිය නිපදවීමේ පළමු ව්‍යාපෘතිය එලඹෙන ඔක්තෝම්බර් මස 01 දා ජාතියට දායාද කරමින්, අතිගරු ජනාධිපතිතුමාගේ, ගරු අගමැතිතුමාගේ ජන්ම භූමිය වන මාතර, ලංකාවේ පළමු හරිත නගරය බවට පත්කිරීමටත් මේ වනවිට සූදානමින් සිටිනවා. අපි රටක් විදියට පාට පාට කණ්නාඩි වලින් තොර වෙලා, මේ සියලුම තාක්ෂණයන් ඒකරාශි කරගෙන මේ ගමන ඉදිරියට යා යුතුයි "යැයි පැවසිය.

    ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක, සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, එයිට්කන් ස්පෙන්ස් සමාගමේ සභාපති හැරී ජයවර්ධන, විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු අදාළ ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya