මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතාම ආරක්ෂාකාරී එන්නතක්- පුද්ගලයින් 161773ක් මේ වනවිට එන්නත් කරයි

    පෙබරවාරි 08, 2021

    එන්නත නිසා රෝගය පැතිරීමත් සෑහෙන ප්‍රමාණයකට අඩුවෙලා - විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රම. බෝ වන රෝග විද්‍යායතනය.

    කොවිඩ් මර්දන එන්නත නිසා රෝගය පැතිරීමත් සෑහෙන ප්‍රමාණයකට අඩුවී ඇති බව නවතම දත්ත අනූව වාර්තා වන බව බෝ වන රෝග විද්‍යායතනයෙහි විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රම මහතා පැවසුවේය.

    ඔහු මේ බව පැවසුවේ අද දින (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක එන්නත්කරණ ක්‍රියාවලිය තුළ මතුවන මාධ්‍ය කාර්යයභාරය පිළිබද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මෙම එන්නත මෙරට ජනතාවට ලබාදීමට පෙර ජාතික ඖෂධ නියාමන අධීකාරිය මගින් පත්කළ කමිටුව මගින් අදාල පර්යේෂණ සිදුකර එය සුදුසු බවට නිර්දේශ කිරීමෙන් පසු ලබාදුන් බවද එය ඉතාම ආරක්ෂාකාරී එන්නතක් බවද සාමාන්‍ය එන්නතකින් සමහර පුද්ගලයන්ට මතුවන ඇතිවන සුළු උණ ත්ත්වයන් ආදිය හැරුණුකොට මෙම එන්නත මගින් මෙතෙක් කිසිදු දරුණු අතුරු ආබාධ වාර්තා වී නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    මෙම එන්නත ලබාගැනීමෙන් පුද්ගලයෙකුට රෝගය වැළදීමේ අවදානම අඩු වන අතර, රෝගය වැළදුනහොත් බරපතලවීමේ අවදානම සහ මියයාමේ ප්‍රවණතාවය අඩු වන බව වෛද්‍ය ආනන්ද ජයවික්‍රම මහතා සදහන් කළේය. 

    තමා ප්‍රථමයෙන්ම එන්නත ලබාගත්තේ ජනතාව තුළ එන්නත පිළිබදව විශ්වාසය ඇතිකිරීම වැදගත් වන නිසාත් තමා ජාතික ඖෂධ නියාමන අධීකාරිය මගින් පත්කළ කමිටුවෙහි සාමාජිකයෙකු වන නිසාද බව වෛද්‍ය ආනන්ද මහතා කියා සිටියේය.

    ඉදිරියේදී කෝවැක්ස් පහසුකම යටතේ අප රටට ජනතාවගෙන් සියයට විස්සක ප්‍රමාණයකට එන්නත් ලැබෙනු ඇතැයිද ජනතාවගෙන් මිලියන 09ක් සදහා එන්නත් මාත්‍රා මිලියන 18ක් රජය විසින් මිලදීගනු ඇතැයිද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

    මෙතෙක් ලැබුණු එන්නත් වලින් 161773ක් පුද්ගලයින් සදහා එන්නත් ලබාදී ඇති බවද පළමු අදියරෙහි එන්නත් ලබාදීමට නියමිත අයගෙන් ප්‍රධාන කොටසක් එය ලබාගෙන අවසන් බවද ඒ හේතුවෙන් දිනපතා එන්නත්කරණ ප්‍රමාණයෙහි අඩුවක් ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    කොවිඩ් මර්දන කාර්යයයේදී මාධ්‍යවේදීන් විශාල නිවැරදි තොරතුරු ජනතාවට ලබාදෙමින් කර්තව්‍යයක් සිදුකළ අතර ඉදිරියේදීත් එය අවශ්‍ය බව සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පැවසුවේය.

    ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කොවිඩ් මර්දනය සදහා වාර්තාකරණයේදී මාධ්‍ය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබද වැදගත් විග්‍රහයක් කරමින් ඔහු පැවසුවේ මෙම එන්නත ලබාදීම පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි නිර්දේශ සලකා බලා අප රටට ගැලපෙන සුදුසු එන්නත් වශයෙන් මෙම එන්නත ලබාදී ඇති බවට මහජනතාව තුළ විශ්වාසය ඇතිකළ යුතු බවයි.

    එමෙන්ම සමහර කණ්ඩායම් එන්නත ඔවුන්ට ලැබෙන්නේ කවදාද එන්නත ප්‍රමාදද යනුවෙන් ගැටලු මතුකරන අතර ඒවාට නිසි විසදුම් මෙන්ම එන්නත ලබාදීමට සුදුසු සියලු දෙනාට එන්නත ලබාදීම තුළින් රෝගය පැතිරීයාම වැළැක්වීම පිලිබදව ජනතාව දැනුවත් කළ යුතු බවයි.

    එන්නත තුළින් සුළු සුළු අතුරු ආබාධ පමණක් ඇතිවිය හැකි හැකි වුවද එලෙස වාර්තා වන සුළු අතුරු ආබාධ සම්බන්ධව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශය සහ වසංගත රෝග අංශය සමග එක්ව ලබාගෙන ඉදිරියේදී ලබාදෙන අතර හදුනාගත් ප්‍රභවයකින් ලබාගත් සත්‍ය තොරතුරු පමණක් මෙහිදී ජනතාවට ලබාදීමට මාධ්‍ය කටයුතු කිරීම වැදගත් බව අවධාරණය කළේය.

    මෙම එන්නත සම්බන්ධව විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පළවන බවද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියෙන් එන්නත පිළිබදව තොරතුරු ලබාගත හැකි බවද ලොව පුරා මෙම එන්නත සම්බන්ධව පර්යේෂණ විශාල සංඛ්‍යාවක් සිදුවන අතර එක් පර්යේෂණ ප්‍රතිඵලයක් පමණක් හුවා නොදක්වා පර්යේෂණ සියල්ලෙහි සමස්ථය පිළිබදව වාර්තා කිරීම මාධ්‍යයෙහි වැදගත් කාර්යයභාරයක් බව වෛද්‍ය පාලිත මහතා පැවසුවේය.

    කොවිඩ් එන්නත කොවිඩ් මර්දන සටනට හොද අවියක් වුවද එය එකම අවිය නොවෙයිත එනම් මෙතෙක් කලක් රැකගෙන පැමිණි අත් සේදීම මුව ආවරණ පැළදීම වැනි මනා සෞඛ්‍ය පුරුදු අමතක නොකරමින් තවදුරටත් පවත්වාගැනීම වැදගත් බව මාධ්‍ය විසින් ජනතාවට යළි සිහිගැන්විය යුතුය. එන්නත ලබාගැනීමෙන් සියල්ල අවසන් වන බවට මාධ්‍ය හරහා දුර්මත සමාජගත නොකරමින් සියලු දෙනා තුළම එන්නත පිළිබදව විශ්වාසයක් ඇති කරමින් මෙම කොවිඩ් මර්දන ක්‍රියාවලිය පිළිබද සත්‍ය ජනතාව අතරට රැගෙනයාම මාධ්‍යයේ වගකීමක් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසීය.

    එන්නත්කරණයේ දෙවන අදියර ඇරඹීම සදහා එන්නත් තොග පෙබරවාරි මස අගදී මෙරටට ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාස කරයි. එන්නත් ලබාදීමේ ප්‍රමුඛතාවය එන්නත් ලැබෙන ප්‍රමාණය මත තීරණය වන බවද කෙසේ වෙතත් රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන්, වයස්ගත ප්‍රජාව සහ රටෙහි ආර්ථිකයට සෘජුව දායක වී සේවය කරන්නන් හට ප්‍රමුඛතාවයක් හිමිවනු ඇත.

    මාධ්‍යවේදීන් වෙත එන්නත් ලබාදීම සදහා ජනමාධ්‍ය ඇමතිතුමාගේ අවධානය යොමුවී ඇත. ප්‍රමුඛතා කණ්ඩායමෙහි ගුරුවරුන්ද සටහන්වී ඇත. ඉදිරියේදී එන්නත් ලැබෙන ප්‍රමාණ අනූව එම කණ්ඩායම් වලට එන්නත්කරණය ඇරඹෙනු ඇත. දෙවන අදියරේදී කණ්ඩායම් දෙක තුනකට සමාන්තරව එන්නත ලබාදීමට හැකිවනු ඇතැයිද සෞඛ්‍ය අංශ විශ්වාස කරයි. පළමු මාත්‍රාව ලබාදී සති 04කින් පසු දෙවන මාත්‍රාව ලබාදීම දැනට ක්‍රියාත්මක ක්‍රමය වුවද, නවතම සාක්ෂි අනූව දෙවන මාත්‍රාව සති 12කින් පසු ලබාදීම වඩා ඵලදායී බවද, ඉන් ප්‍රතිශක්තීකරණය ඉහළ යා හැකි බවද වාර්තා වී ඇති. එමනිසා ඉදිරියේදී දෙවන මාත්‍රාව ලබාදෙන කාලසීමාව සති 12ක් දක්වා දීර්ඝ කිරීමටද හැකියාවක් ඇත.

    මෙම එන්නතෙහි ප්‍රතිශක්තිකරණය කෙතරම් කාලයක් පවතීද යන්න බොහෝ දෙනා විමසන අතර තවමත් පර්යේෂණ සිදුකරමින් යන නිසා එයට නිශ්චිත පිළිතුරක් දිය නොහැකි වුවද ආසන්න වශයෙන් වසරක කාලයක් මෙම එන්නතෙහි ප්‍රතිශක්තිකරණය රදාපවතිනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාස කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya