මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් රජයෙන් හොරණ ශ්‍රී පාලි මණ්ඩපයට අංග සම්පූර්ණ ශ්‍රව්‍ය-දෘශ්‍ය අධ්‍යාපන ඒකකයක්

    පෙබරවාරි 05, 2021

    විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමේ දී එක් එක් විශ්වවිද්‍යාලයට වඩාත් යෝග්‍ය වන පාඨමාලා හඳුනාගනිමින් ඒ ඒ විෂයයන් සඳහා දිරිගැන්වීම සාර්ථක වන බව රජය හඳුනාගෙන ඇති බවත්, ඒ අනුව මාධ්‍යවේදීන් බිහිකිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙතෙක් පැවති අභියෝගයට විසඳුමක් ලෙස අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත ශ්‍රව්‍ය දෘශ්‍ය අධ්‍යයන ඒකකයක් ලබාදීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කොළඹ විශ්වවිද්‍යාලය අනුබද්ධිත හොරණ ශ්‍රී පාලි මණ්ඩපයේ අභිනවයෙන් ඉදිකළ ශ්‍රව්‍ය දෘශ්‍ය අධ්‍යයන ඒකකය විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (03) පැවති උත්සවයට එක්වෙමිනි.

    අපේ මාධ්‍ය‍වේදීන්ට ජාත්‍යන්තරයෙන් විශාල ප්‍රසාදයක් හා පිළිගැනීමක් පවතින බවත්, මාධ්‍යවේදීන්ට අංගසම්පූර්ණ පාඨමාලාවක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නොතිබීම මෙතෙක් පැවති විශාල
    අඩුපාඩුවක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ජපන් රජය මේ සඳහා ලබාදුන් දායකත්වය සම්බන්ධව සිය කෘතවේදීත්වය පළ කළේය.

    අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන්ට අවශ්‍ය වී ඇත්තේ, වැටුප්, වරදාන නොව, තමන් කරන කාර්යයෙන් තෘප්තියක් ලබා ගැනීම බවත්, තම විෂය ක්ෂේත්‍රය තුළ දැනුම වර්ධනය
    කිරීමට පූර්ණ අවස්ථා සහ අවකාශ ප්‍රායෝගිකව අත්කරගනිමින් තමන්ගේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමත්, නව ලොව නව ප්‍රවණතා හඳුනාගනිමින් ඉගැන්වීම් කටයුතුවල කටයුතුවල යෙදීමත්
    ඔවුන්ගේ අභිලාෂය වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ජපානය අනාදිමත් කාලයක සිට අපට උදව් කරන රටක් බවත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධනය කිරීමට ජපන් රජයෙන් අපට විශාල ශක්තියක් ලබාදෙන බවත් පෙන්වාදුන්
    අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් ද සිය කෘතඥතාව වත්මන් තානාපතිතුමා ඇතුළු ජපන් රජයට පළ කළේය.

    අධ්‍යාපනය, හුදෙක් විෂය දැනුම ලබා ගැනීමට පමණක් සීමා නොවන බවත්, කෙනෙකුගේ සමස්ත පෞර්ෂය වර්ධනය කිරීම අධ්‍යාපනයේ අභිමතාර්ථය බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ
    මණ්ඩපයක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී පාලි මණ්ඩපයේ අධිපති, මහාචාර්ය රංජන් හෙට්ටිආරච්චිමැතිතුමා මේ සම්බන්ධයෙන් විශාල සේවයක් සිදු කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේ Cultural Grassroots ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 120ක මූල්‍ය පරිත්‍යාග යටතේ නවීන කැමරා, පසු නිෂ්පාදන සහ වර්ණ සංයෝජන පහසුකම්වලින් සමන්විත ව මෙම ශ්‍රව්‍ය දෘශ්‍ය අධ්‍යයන ඒකකය ඉදිකර තිබේ.

    මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිරා සුගියාමා, ජාතික දෘශ්‍ය කලා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන
    කොමිසන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා එන් විජේරත්න, ශ්‍රීපාලි මණ්ඩපයේ අධිපති මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි මහතා ඇතුළු අධ්‍යයනාංශ ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya