මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් ව්‍යසනය නිසා අසරණව සිටින විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව පිළිබඳ සොයා බලන්න-කෝප් කමිටුවෙන් දැනුම්දීමක්

    ජනවාරි 26, 2021

    විදේශ සේවා නියුක්ති කාර්යංශය සතු අරමුදල් භාවිතා කොට කොවිඩ් ව්‍යසනය නිසා අසරණව සිටින විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.


    කමිටුව මේ බව සඳහන් කළේ විදේශ රැකියා ක්ෂේත්‍රයෙහි වර්තමාන තත්ත්වය අධ්‍යනය කිරීම සඳහා වූ විශේෂ විගණන වාර්තාව විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.


    විදේශ සේවා නියුක්ති කාර්යංශය රැස් කොට ඇති රුපියල් බිලියන 14ක ජංගම වත්කම් යොදවා මේ වන විට කොවිඩ් ව්‍යසනය හේතුවෙන් විවිධ රටවල අසරණව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්නැ වත මෙරටට ගෙන්වා ගැනීමට කිසියම් නෛතික බාධාවන් තිබේ ද යන්න කමිටුව විසින් විමසන
    ලදී. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිව සිටින විදෙස්ගත ශ්‍රමිකයන් සිය අරමුදල් භාවිත කොට මෙරටට ගෙන්වා ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බව කාර්යංශ සභාපතිවරයා අනාවරණය කළේය.

    මැදපෙරදිග තෙල් මිල පහල යාම හේතුවෙන් රැකියා අහිමිවූවන් සහ කොවිඩි ව්‍යසනය හේතුවෙන් රැකියා අහිමි වූ ශ්‍රමිකයන් 34721කගෙන් තමන්ව මව්රටට ගෙන්වා ගන්නා ලෙස මේ වන විටත් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ඉල්ලීම් කොට තිබේ.

    කොවිඩ් වසංගතය හමුවේ රට විවෘත කිරීමේ සාකච්ඡා පවතින මොහොතක සහ මේ වන විටත් ගුවන් තොටුපල විවෘතව ඇති නිසාවෙන් මෙසේ මව් රටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් කරන විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳ සොයා බැලීම සඳහා කාර්යංශය විසින් සුදුසු ආකෘතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ද කෝප් සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    2019 වර්ෂය සඳහා පමණක් විදෙස් රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සේවය කරන ලාංකිකනිලධාරීන් වෙනුවෙන් වියදම් කොට ඇති මුදල රුපියල් මිලියන 800ක් බව අනාවරණය වූ අතරඑතරම් විශාල මුදලක් වැයකොට නඩත්තු කරන සේවක පිරිසෙන් අපේක්ෂිත සේවාවන් ඉටු වනවාදයන්න සොයා බැලිය යුතු බව කෝප් කමිටුව නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.

    විදේශ රැකියා සඳහා අවශ්‍ය වන රැකියා පුහුණු ලබා දීමේදී එම පුහුණු පාඨමාලා විවිධ අමාත්‍යාංශයටතේ පවතින ආයතන මගින් ක්‍රියාත්මක කරන අතරම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින්ද ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ කමිටුවේ අවධානය යොමු විය. ජාතික ආධුනිකත්ව සහකාර්මික පුහුණු කිරීම් අධිකාරිය, ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය සහ ශ්‍රී
    ලංකා යොවුන්සේනාංකය විසින් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මෙම පුහුණු පාඨමාලා සිදුකරනු ලැබේ. මෙහිදී වර්තමාන රැකියා අවශ්‍යතාවයට අනුව පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීමේ විධිමත් ක්‍රමවේදයක්සැකසිය යුතු බව සහ නව රැකියා වෙළඳපල අනුව සැපයීමේක්‍රියාවලිය විධිමත් කළ යුතු බව කෝප් කමිටුව සඳහන් කළ අතර ඉදිරිඅවුරුදු 5 සඳහා ක්‍රියාකාරීසැලැස්මක් සකස්කොට ඉදිරිපත් කරන ලෙසද දැනුම් දුන්නේය.‍

    ශ්‍රී ලංකික ශ්‍රමිකයන් විදේශ රටවලට යැවීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සහ රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කළහැකි රක්ෂණ ක්‍රමයක් සහ අදාල පාර්ශව සමග ගිවිසුම් වලට ඒළඹීමේ අවශ්‍යතාවය අවධාරණය කළ කමිටුව නිර්දේශ කළේ ඒම අවශ්‍යතා සපුරාලන නව රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීම සඳහා කටයුතු කිරීම ඉතා වැදගත් බවයි. ඒහිදී විදේශ රැකියා සඳහා යවනු
    ලබන ශ්‍රමිකයන්ගේ මානවීය අවශ්‍යතා සහ ආරක්ෂාව සහ සුභ සාධනය තහවුරු කිරීම සඳහා විදේශ අමාත්‍යංශය හා ඒක්ව මීට වඩා වගකීමකින්විදේශ සේවා නියුක්ති කාර්යංශය කටයුතු කළ යුතු බවද කමිටුව අවධාරණය කළේය.

    විදේශ රටවල පවතින ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල වල සේවය කිරීම සඳහා නිලධාරීන් බඳවා ගැනීමේදී විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන ලෙස කොප් කමිටුව දැනුම් දුන් අතර එසේ නොකිරීම නිසා පසුගිය කාලය පුරාම විවිධ අක්‍රමිකතා සිදු වී ඇති බවද අවධාරණය කළේය. ඒ් සඳහා සුදුසු බඳවා ගැනීමේ පටිපාටියක් කළමණාකරන සේවා දේපාර්තමේන්තුවෙන් අනුමත කරවා ගන්නා ලෙස කමිටුව අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

    මෙම රැස්වීමට අමාත්‍යවරුන් වන අජිත් කබ්රාල්, මහින්ද අමරවීර, ඉන්දික අනුරුද්ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, නලීන් බණ්ඩාර, එරාන් වික්‍රමරත්න ඇතුළු විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධකඅමාත්‍යංශය, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාරයංශයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya