අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇ.ඩො මිලියන 3 ක් වටිනා පී සී ආර් පරීක්ෂණ කට්ටල දකුණු කොරියානු රජයෙන් ශ්‍රී ලංකාවට

    ජනවාරි 09, 2021

    ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් වටිනා පීසීආර් පරීක්ෂණ කට්ටල පරිත්‍යාග කිරීම පිළිබඳව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දකුණු කොරියානු රජයට සිය කෘතඥතාව පළ කළේය.

    සමස්ත ලෝකයටම මුහුණදීමට සිදුවන මෙවැනි අර්බුදවලදී එම බලපෑම අවම කිරීමට අන්තර්ජාතික සහයෝගීතාව අතිශය වැදගත් බව මෙහිදී කථානායකවරයා පෙන්වා දුන්නේය. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා - කොරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමකට ( 07 ) සහභාගී වෙමිනි.

    කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට කොරියානු ජනරජයේ තානාපති ජොන්ග් වුන්ජින්ග්,කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද සහභාගී වූහ.

    1987 දී සෝල් නුවර ශ්‍රී ලංකාවේ නේවාසික තානාපති කාර්යාලයක් විවෘත කිරීමට පෙර 1984 දී දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ආරම්භ කරන ලදී. එය ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද පළමු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ලෙස ඉතිහාසයට එක්වේ.
    කථානායකවරයා සිය දේශනය ආරම්භයේදී තානාපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් උණුසුම් ලෙස පිළිගත්තේය. දකුණු කොරියාවේ තානාපති කාර්යාලයක් 1977 දී කොළඹ පිහිටුවා විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඇරඹීමට පෙර සිටම මෙම රටවල් ද්විත්වය අතර සබදතා තිබූ බව කථානායකවරයා පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කරමින් 2020 දෙසැම්බර් 8 වන දින එහි 43 වන සංවත්සරය සමරන්නට ලැබීම සතුටට කරුණක් බවත් කථානායකවරයා පැවසීය. 1984 දී ගරු. ඊ.එල්. සේනානායක මහතා කථානායකවරයා ලෙස කටයුතු කරන සමයේ ආරම්භ කළ මෙම සංගමයේ සභාපති ධුරය රනිල් වික්‍රමසිංහ,අභාවප්‍රාප්ත ධර්මසිරි සේනානායක , අභාවප්‍රාප්ත නෝමන් වෛද්‍යරත්න වැනි මන්ත්‍රීවරුන් විසින් දරනලද බව කථානායකවරයා මෙහිදී සිහිපත් කළේය.

    2019 ජූලි මාසයේදී දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දකුණු ආසියාවේ තෝරාගත් රටවල් අතර අන්තර් පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික සංසදය පිහිටුවීමට කොරියානු ජනරජයේ කථානායකවරයා කටයුතු කර ඇති බවත්, ශ්‍රී ලංකා - දකුණු කොරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය එහි ආරම්භක සාමාජිකයෙක් බව දැනගැනීමට ලැබීම සතුටට කරුණක් බවත් කථානායකවරයා පැවසීය.

    ශ්‍රී ලංකාවේ විදේශගත ශ්‍රම බලකායට ලබා දී ඇති රැකියා අවස්ථා පිළිබඳව සිය කෘතවේදීත්වය පළ කළ කථානායකවරයා ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 24,000 ක් පමණ දකුණු කොරියාවේ ජීවත් වන අතර ඔවුන් දෙරටේම ආර්ථික දියුණුවට දායක වෙන බව පැවසීය.

    එසේම කොරියානු ජනරජයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් 2019 දී ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 520 ක මුදලක් ලැබුණු බවත් ශ්‍රී ලංකා ආර්ථිකයට එහි දායකත්වය සුවිසල් බවත් කථානායකවරයා තවදුරටත් පැවසීය.

    දකුණු කොරියාවේ අග්‍රාමාත්‍ය චුන් හොං මහතා 2013 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ කළ නිල සංචාරය සහ දෙරටේ සබඳතා ශක්තිමත් කළ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා 2017 නොවැම්බර් මාසයේදී කොරියාවේ කළ රාජ්‍ය සංචාරයන් මෙහිදී කථානායකවරයා සිහිපත් කළේය.

    රැස්වීම අමතමින් තානාපති ජොන්ග් වුන්ජින්ග් කියා සිටියේ අනාගතයේදී COVID 19 වසංගතයේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කරන බවයි.

    මෙම රැස්වීමේදී ශ්‍රී ලංකා - කොරියාවේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස ගරු රාජ්‍ය අමාත්‍ය දයාසිරි දයාසේකර මහතා ඒකමතිකව නැවතවරක් තේරී පත් විය. සංගමයේ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් මහතා තේරී පත් විය

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya