අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජීවනෝපාය හා ආදායම් ඉහළ නැංවීමට මෙවර අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 10,000ක් .......

    දෙසැම්බර් 17, 2020

     ජීවනෝපාය හා ආදායම් ඉහළ නැංවීමට මෙවර අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 10,000ක් .......
    • වැඩි පිරිසකට ප්‍රතිලාභය ලබාදෙන ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදෙන්න......
    • ග්‍රාම සංවර්ධන සමිතිවල මුදල් සීමාව වැඩි කරන්න ද රජයේ අවධානය යොමු වී තිබෙනවා...
    - ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ

    ජීවනෝපාය හා ආදායම් ඉහළ නැංවීම තුළ රටේ ආර්ථිකය රඳා පවතින බැවින් මෙවර අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන් කර ඇතැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
    “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට” ජාතික වැඩසටහනේ (16) දින අනුරාධපුර, උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති උතුරු-මැද පළාත් කමිටු රැස්වීමට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
    ඉදිරි අයවැය යෝජනාවලට අනුව සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාවය ලබාදීමේ දී වැඩි පිරිසකට ප්‍රතිලාභය ලබාදෙන ව්‍යාපෘති වෙනුවෙන් වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස එහිදී බැසිල් රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා,
    එළඹෙන 21 හා 22 දිනවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සියල්ල රැස් කරන්න කියා ඉල්ලා සිටිනවා. එම කමිටු කැඳවා එක් ග්‍රාම සේවා වසමකට අවම වශයෙන් "ගම සමඟ පිළිසඳරක් " වැඩසටහන් එකක් හෝ පවත්වා ගම් මට්ටමින් යෝජනා ලබාගන්න.මෙම අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදි ජනතාවගේ අදහස් හා යෝජනා ලබාගැනීමට පළාත් පාලන ආයතනවලට විශාල වගකීමක් තිබෙනවා.
    ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න ජනාධිපතිතුමා වෙහෙසෙනවා. මේ අනුව ලංකාවේ සියලු දෙනාටම නිවෙසේ සිට අවශ්‍ය සන්නිවේදන මාර්ග සකස් කර දෙන්න කටයුතු කරනවා. මෙවරත් කිලෝමීටර් 100,000 ක් සංවර්ධනය කරගෙන යනවා. ඒ වගේම “සැමට ජලය” ව්‍යාපෘතිය හරහා රටේ සියලු ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට කටයුතු කරනවා.
    මේ සියල්ල කරනවිට පරිසරය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා. රටේ සංවර්ධන ව්‍යාපෘතීන් දියත් කරන අතරේ නාගරික වනරොදවල් ( urban forest) ඇති කරන්න කටයුතු කරනවා. වනජීවීන්ගෙන් ගොවීන්ට වන හානි අවම කරන්නත් විශාල මුදලක් වෙන්කර තිබෙනවා.
    මෙවර අයවැයෙන් කාන්තා ව්‍යවසායිකාවන් බිහිකිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. ගමට විදුලි බලය ලැබෙන විදියට ට්‍රාන්ස්ෆෝමර් 5000ක් විදුලිබලය නිෂ්පාදනය සඳහා සූර්ය බලය දෙන්න විදුලිබල අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
    නොමිලේ පොහොර සහ ජල පහසුකම් ලබා දෙන්න රජය විශාල මුදලක් ගොවියන් වෙනුවෙන් වෙන් කර තිබෙනවා. එවැන්නක් කර කෘෂි නිෂ්පාදන සඳහා හොඳ මිලක් දෙන්නත් රජය කටයුතු කරනවා. නමුත් ඒ හා සමානව පාරිභෝගිකයාට ඒ සහනය ලැබෙනවා ද යන්න ගැටලුවක්. රජය සතුව ස්ථිරසාරව වී තොඟ නොමැති වීම ඊට හේතුව වී තිබෙනවා. ඊළග කන්නයේ සිට හැම ගොවියෙකුගෙන් සියයට 8ත් 10ත් අතර ප්‍රමානයක් වී මිලදී ගන්න රජය කටයුතු කරනවා. ගම් මට්ටමින් ධාන්‍යාගාර ස්ථාපිත කරන්න කටයුතු කරනවා. ඒ සඳහා සමූපකාර හා ගොවි සමිති සඳහා සුදුසු ගබඩා සකස් කළයුතු වෙනවා. එවැනි ධාන්‍යාගාර වෙනුවෙන් මෙවර අයවැයෙන් මුදලක් වෙන්කර තිබෙනවා. වී මිලට ගන්න අවශ්‍ය මුදල්ද රජය මේ වන විටත් වෙන් කර තිබෙනවා. සමෘද්ධි ව්‍යාපාරයට සමූපකාරයට ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. අද සමූපකාර විශාල ප්‍රමාණයක් වැසී තිබෙනවා.
    ගොවීන්ට අවශ්‍ය පොහොර නිසි පරිදි ලබාදෙන්න රජය පියවර ගෙන තිබෙනවා. මේ රජය අවශ්‍ය තරම් පොහොර ගෙන්වා තිබෙනවා. ගොවියාට අවශ්‍ය වෙලාවට පොහොර නොලැබෙන්නේ නම් නිසි ප්‍රයෝජන ගන්න බැහැ. පොහොර වෙනුවෙන්ම රාජ්‍ය ඇමැතිවරයෙක් ඉන්නවා. පොහොර කාර්යාංශයක් තිබෙනවා. පොහොර ගෙන්වීම වෙනුවෙන් වැඩිම මුදලක් වෙන්කරනවා. වරායෙන් සෘජුවම මේ පළාතට පොහොර එවනවා. ප්‍රජා මූල සංවිධාන හරහා ගමේ කටයුතු සිදුවෙනවා.
    මේ වනවිට ග්‍රාම සංවර්ධන සමිතිවල මුදල් සීමාව වැඩි කරන්න ද රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ වගේම ඉඩම් මායිම් කිරීම සම්බන්ධයෙන් විවිධ චෝදනා තිබෙනවා. ඉඩම් මායිම් වෙනස් කිරීමට ද කිසිවෙකුටත් බලයක් දී නැහැ. ප්‍රාදේශීය ලේකම්වරයාට ඒ සම්බන්ධයෙන් තීරණ ගන්න බලය තිබෙනවා. රටේ තිබෙන සංවේදී ප්‍රදේශයක් වන උතුරු මැද ජනතාවට මේ දක්වා ක්‍රියාත්මක කළ හැම ව්‍යාපෘතියකින්ම හොඳ ප්‍රතිඵල ලැබී තිබෙනවා.
    මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා, රාජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya