අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෑත කාලීන ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගම් තානාපතිවරුන් හමුවෙයි

    නොවැම්බර් 22, 2020

    කොවිඩ්-19 වසංගත තත්ත්වය ඇතුළු මෑතකාලීන ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉතාලිය, ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය, රුමේනියාව යන රටවල තානාපතිවරුන් සහ කොළඹ සිටින යුරෝපා සංගම් දූත පිරිස විදේශ අමාත්‍යංශයේ දී හමුවිය.

     

    වෙළඳ, ආයෝජන සහ සංචාරක අංශයේ සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙනයාම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ශ්‍රී ලංකාව සමඟ පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා යුරෝපා සංගම් තානාපතිවරු සිය කැමැත්ත යළි තහවුරු කළහ. යුරෝපා සංගම් වෙළඳපොළ වෙත ශ්‍රී ලංකාව සිදුකරන යුරෝ බිලියන 2.3 ක් වටිනා අපනයන, අඛණ්ඩව වර්ධනය වෙමින් යුරෝපා සංගමයේ ජීඑස්පී + වෙතින් ප්‍රතිලාභ ලබන බවත්, එමඟින් අපනයන නිෂ්පාදන කාණ්ඩ 6,000 කට අධික සංඛ්‍යාවක් සඳහා තීරුබදු රහිත ප්‍රවේශයක් ලබා ගත හැකි බවත් එම තානාපතිවරු අවධාරණය කළහ. මේ සම්බන්ධයෙන්, මෑතකදී බලාත්මක කරන ලද ආනයන සීමා කිරීම් සහ ඒවා අවලංගු කෙරෙනු ඇති කාල සීමාවන් පිළිබඳව පැහැදිලි කිරීම් තානාපතිවරු ඉල්ලා සිටියහ. කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් ප්‍රේෂණ සහ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම සැලකිය යුතු ලෙස අඩුවීම හේතුවෙන් ශ්‍රී ලංකාව සිය ආර්ථිකය හා විදේශ මුදල් සංචිතය සම්බන්ධයෙන් මුහුණ දී සිටින අභියෝග පිළිබඳව විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා පැහැදිලි කළේය. අප ඉදිරියට යන විට, මෙම ආනයන සීමා සමාලෝචනය කෙරෙනු ඇති බව ද එතුමා අවධාරණය කළේය.

    විශේෂයෙන් අධ්‍යාපන, නිපුණතා සංවර්ධන, කෘෂිකාර්මික, පශු සම්පත් සංවර්ධන, ජල සම්පාදන යන අංශවල සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා මෙන්ම පුද්ගලික අංශය සමඟ කෙරෙන ආයෝජන සඳහා ද අඛණ්ඩව ලබා දෙන ආධාර ඇතුළුව, කොවිඩ්-19 වසංගතයෙන් ආර්ථික හා සමාජීය වශයෙන් සුවපත් වීම සඳහා යුරෝපා සංගම් රටවල් ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය අමාත්‍ය ගුණවර්ධන මහතා අගය කළේය.

    විශ්වසනීය දේශීය ක්‍රියාවලියක් තුළින් ප්‍රතිසන්ධානය හා සම්බන්ධ ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවට විදේශ අමාත්‍යවරයා සහතික විය.

    පොදුවේ උනන්දුවක් දක්වන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් යුරෝපා සංගම් සාමාජික රටවල් සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සුහද, විවෘත හා අඛණ්ඩ සංවාදය තානාපතිවරු අගය කළහ.

    විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු ද මෙම රැස්වීම සඳහා සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya