අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුව සේවාවේ අභියෝග ජය ගැනීමට දිගුකාලීන උපායමාර්ගික සැළැස්මක්

    ඔක්තෝබර් 21, 2020

    සුව සේවාවේ අභියෝග ජය ගැනීමට දිගුකාලීන උපායමාර්ගික සැළැස්මක් සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

     

    ශ්‍රී ලංකා හෘද රෝග විද්‍යා පීඨයේ 20 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය ඊයේ (20) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ “සිනමන් ග්‍රෑන්ඩ්” හෝටලයේ දී පැවැත්විනි. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් දක්වන ලදි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - “2020 ශ්‍රී ලංකා හෘද රෝග විද්‍යා පීඨයේ 20 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවය ඇමතීමට ලැබීම සතුටට කරුණක්. COVID 19 වසංගතය හේතුවෙන් රට අභියෝග රැසකට මුහුණ දී සිටින තීරණාත්මක අවස්ථාවකයි මෙම උත්සවය පැවැත්වෙන්නේ. වෛරසයට එරෙහි සටනේදී ලෝකයේ ප්‍රමුඛ ස්ථානයක් ලබා ගනිමින් කොරෝනා වෛරසයේ පළමු රැල්ල අපි සාර්ථකව පාලනය කළා. එහි එක් ප්‍රතිඵලයක් ලෙස ලංකා හෘද රෝග විද්‍යා පීඨයේ වාර්ෂික අධ්‍යයන සැසිවාරය මෙලෙස පැවැත්වීමට ලැබීම සුවිශේෂි අවස්ථාවක් ලෙස මා සළකනවා.”

    “අප ද ශ්‍රී ලංකාවට ආවේණික වූ නව අභියෝගයන්ට මුහුණ දෙමින් සිටිනවා. එහිදී බෝ නොවන රෝග පැතිරීම පාලනය කිරීම සහ හෘද රෝග සඳහා දිගු කාලීන හා තිරසාර විසඳුමක් සොයා ගැනීම වඩාත් හදිසි සෞඛ්‍ය ප්‍රමුඛතා අතර වනවා. අදාළ වෘත්තිකයන්ගේ අදහස් විමසීමෙන් සෞඛ්‍ය සේවාවේ ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා දිගුකාලීන උපායමාර්ගික සැලැස්මක් ස්ථාපිත කිරීම සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස මාගේ බලාපොරොත්තුව වෙනවා. හෘද රෝග නිසා ඇති වන රෝගාබාධ හා මරණ සංඛ්‍යාව රටේ අංක එකේ ස්ථානය වන අතර, රෝගීන්ගේ කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කළ යුතුයි. හෘද රෝග සදහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ශල්‍යාගාර පහසුකම්, හදිසි ප්‍රතිකාර ඒකක සහ රෝගීන්ට නවාතැන් පහසුකම් සැපයීම පිළිබදව අවධානය යොමු කළ යුතුයි.”

    “ලොව පුරා සෞඛ්‍ය පද්ධති වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. නව, අධි තාක්‍ෂණික රෝග විනිශ්චය සහ චිකිත්සක ක්‍රම හඳුන්වා දෙනු ලබනවා. තොරතුරු තාක්ෂණය සෞඛ්‍ය සේවයට ඒකාබද්ධ කෙරෙනවා. වෛද්‍ය පර්යේෂණ මගින් සෞඛ්‍යය පිළිබඳ අපගේ අවබෝධය වැඩි දියුණු කිරීම සහ නව මාර්ග හෙළි කිරීම අඛණ්ඩව සිදු වෙනවා. මෙම අභියෝගාත්මක වාතාවරණය තුළ, ශ්‍රී ලාංකික ජනතාවට ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඵලදායී ආකාරයකින් ලබාදීමට ලෝකය සමඟ සම්බන්ධව සිටිය යුතුයි.”

    “මෙරට සෞඛ්‍ය සේවාව ඉතිහාසය පුරාම කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීමේ හැකියාව පෙන්නුම් කර තිබෙනවා. අපි පෝලියෝ සහ මැලේරියාව තුරන් කර ඇති අතර මාතෘ හා ළමා රැකවරණයෙහි සුවිශේෂී මට්ටම් අත්කර ගෙන සිටිනවා. අපේ ආයු අපේක්ෂාව සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග ගත් විට ඉහළම මට්ටමක පවතිනවා.”

    “උසස් තත්ත්වයේ ඖෂධ ලබා ගත හැකි බවට සහතික කර ගැනීම සඳහා සහ විශිෂ්ට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂයෙන් දේශීය ඖෂධ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා අපගේ ඖෂධ ප්‍රතිපත්තිය නැවත සලකා බැලිය යුතුයි. ඒ තුලින් සියලුම ශ්‍රී ලාංකිකයන්ට දැරිය හැකි මිලකට ගුණාත්මක ඖෂධ වර්ග ලබාගැනීමට අවස්ථාවන් ලබාදිය යුතුයි.”

    “අතිගරු ජනාධිපතිතුමා ඇතුලු වත්මන් රජයේ බලාපොරොත්තුව වනුයේ රටේ නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය තුලින් ජනතාවට ගුණාත්මකභවින් ඉහළ සෞඛ්‍ය සේවාවක් ලබාදිමයි. අවසන් වශයෙන් මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වාර්ෂික අධ්‍යයන සැසි සංවිධානය කිරීමට දැරූ උත්සාහය පිළිබඳව ශ්‍රී ලංකා හෘද රෝග විද්‍යා පීඨයේ සභාපතිවරයාට සහ කවුන්සිලයට මම සුබ පතනවා.”

    මෙහිදි ශ්‍රී ලංකා හෘද රෝග නව ජංගම යෙදුම (SL Heart APP) දියත් කිරීම ද සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    මෙම අවස්ථාවට ජනාධිපති නීතිඥ සහ ශ්‍රී ලංකා නීති කොමිසමේ සභාපති රොමේෂ් ද සිල්වා මහතා, ශ්‍රී ලංකා හෘද රෝග විද්‍යා පීඨයේ සභාපති වෛද්‍ය ස්ටැන්ලි අමරසේකර මහතා, ශ්‍රී ලංකා හෘද රෝග විද්‍යා පීඨයේ වෛද්‍යවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya