මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් කර්මාන්තශාලාවේ සේවය කරන සියලුම දෙනාගේ පී සී ආර් පරීක්ෂණ ඊයේ (07) සිදුකළ බවත් මේ වන විට හදුකාගත් රෝගීන් ප්‍රමාණය 1034ක් බවත්, වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය.
අද (08) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී අදහස් දක්මවින් ඔහු මේ බව සදහන් කළේය.
ඒ අනූව ඊයේ දවස තුළ ලබාගත් සාම්පල වලින් තවදුරටත් විස්තර ලැබෙමින් පවතින බවත්, එම තොරතුරු තහවුරු කරගත් පසු ආසාදිතයින් ප්‍රමාණය පැවසිය හැකි බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
මේ වන විට බ්‍රැන්ඩෙක්ස් කර්මාන්තශාලාවේ සේවකයින්ගේ ආශ්‍රිතයන් සහ එම ප්‍රදේශයේ සමාජය තුළ පී සී ආර් පරීක්ෂණ සිදුකරමින් පවතී. කාසල් කාන්තා රෝහලේ ගැබිණි මවකටද කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වී ඇති අතර, එම කාන්තාව බ්‍රැන්ඩෙක්ස් කර්මාන්තශාලාවට සේවය සපයන තවත් ආයතනයක සේවය කරන බැවින් ඇයද බ්‍රැන්ඩෙක්ස් ආයතනයටම සම්බන්ධ කොවිඩ් පොකුරෙහි රෝගියෙකු වශයෙන් හදුනාගෙන ඇත.
මේ වන විට අදාල කාන්තාව සේවය කළ ආයතනයේ සියලුම කාර්යය මණ්ඩලයෙහි පී සී ආර් පරීක්ෂණ අද දිනයෙහි සිදුකෙරෙනු ඇත. හදුනාගත් රෝගීන්ගෙන් බොහෝ දෙනෙකු මේ වන විට රෝහල් වලට ඇතුලත් කර ඇති අතර තවත් සුළු පිරිසක් රෝහල් වලට ඇතුලත් කිරීමට කටයුතු කරමින් පවතී. රෝගීන් ඇතුළු කළ රෝහල් වන්නේ අංගොඩ ජාතික බෝවන රෝග මධ්‍යස්ථානය, වැලිකන්ද රෝහල, ඉරණවිල රෝහල, මිනුවන්ගොඩ රෝහල, කාත්තන්කුඩිය, තෙල්දෙණිය, නෙවිල් ප්‍රනාන්දු රෝහල, මුල්ලේරියාව, හම්බන්තොට, රඹුක්කන, සහ කඹුරුගමුව යන රෝහල් ය. හෝමාගම අඹන්පොළ සහ ලග්ගල පල්ලේගම යන රෝහල් කොවිඩ් රෝගීන් ඇතුලත් කිරීම සදහා මේ වන විට සූදානම් කරමින් පවතියි.
තවමත් සොයා නොගත් රෝගීන් පිරිසක් සමාජයේ සිටීද යන ගැටලුව සදහා වෛද්‍යවරයා පැවසුවේ මෙවන් අදහසකි. දිගින් දිගමට පී සී ආර් පරීක්ෂණ සිදුකරමින් පවතින බවත්, රෝගීන් අලුතින් හදුනාගැනීම සිදුවන්නේ එතුළින් බවත් සහ තවමත් සෞඛ්‍ය අංශ විසින් සමාජය තුළ සහ ආශ්‍රිතයන් අතර පී සී ආර් පරීක්ෂණ කරමින් පවතින බවයි.
කිසියම් කෙනෙකුට ශ්වසන ආබාධයක්, පෞද්ගලික ගැටලුවක් හෝ වෙනත් ඕණෑම සෞඛ්‍ය ගැටලුවක් ඇතිනම් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මගින් පවත්වාගෙන යනු ලබන පැය 24 පුරාම ක්‍රියාත්මක 1999 හදිසි දුරකතන අංකය අමතා අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙසත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.