නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැනට පවතින තත්ත්වය අනුව රට වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නෑ - යුද හමුදාපති

    ඔක්තෝබර් 07, 2020

    මිනුවන්ගොඩ ප්‍රදේශය තුළින් වාර්තා වූ කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මූලාශ්‍ර සොයා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින අතර දැනට පවතින තත්ත්වය අනුව රට වසා දැමීමේ (Lockdown) කිසිදු අවශ්‍යතාවක් නොපවතින බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසූවේ, අ.පො.ස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සම්බන්ධයෙන් අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

    රට තුළ පවතින තත්ත්වය හමුවේ විභාග පවත්වන කාල සීමාව තුළ දී තම දරුවා ඉතා සුරක්ෂිතව විභාගය සඳහා ගෙන ඒමේදී සුවිශාල වගකීමක් දෙමාපියන් හට පවතින බවද ඒ මහතා මෙහිදී සඳහන් කරන ලදී.

    මෙම ආයතනය තුළ සේවය කරනු ලබන සේවකයින් අතරින් කිහිපදෙනෙක් හට පසුගිය 21 වනදා සිට පමණ යම් උණ සහ ස්වසන රෝගී තත්ත්වයන් පැවති බවට වාර්තා වී ඇති අතරම එබැවින් රෝගී මූලාශ්‍රය සොයා ගැනීමේදී යම් අසීරුතාවයක්ද පවතින බවත් අද දිනය වන විට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සියලුම සේවකයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර අවසන් කිරීමට හැකි වී ඇති බවද ඒ මහතා මෙහිදී කීය.

    බ්‍රැන්ඩික්ස් ආයතනය වෙත ඉන්දීය කණ්ඩායමක් පැමිණි බවට වාර්තා වන පුවත සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසූයේ එවැනි කිසිදු කණ්ඩායමක් මෙම ආයතනයට පැමිණ නොමැති බවයි. විභාග සඳහා ආරක්ෂිතව දරුවන් රැගෙන ඒමට හා රැගෙන යාමට දෙමව්පියන්ට වගකීමක් තිබෙන බව ද ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ය

     

    මීට පෙර කාල සීමාවන්හි ද පැවති ආපදා තත්ත්වයන් හමුවේ වුවද සියලුම විභාග කටයුතු සිදු කළ බවත් මේ වන විට අනපේක්ෂිතව ඇති වී පවතින කොරෝනා තත්ත්වය සමග පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග නියමිත දින පවත්වන බව මාධ්‍ය හමුවට එක් වූ අ‍්ධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

    එසේම ආපදා තත්ත්වය හමුවේ වුවද වි‍භාග පැවැත්වීමේ ක්‍රමවේදයක් පෙර සිටම පැවති බවත් එයට අනුකූලව වඩාත් සුරක්ෂිතව විභාගය පැවැත්වීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොළඹ දිස්ත්‍රික්කයට සහ වෙනත් දිස්ත්‍රික්ක වලින් ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණෙන සියලුම විභාග අපේක්ෂකයන් හට කිසිදු ගැටලුවකින් තොරව ව්භාගය සඳහා මුහුණ දීමට අවශ්‍ය පරිසරය සකසා දෙන බව ඒ මහතා කීය.මෙම තත්ත්වය මත විභාග අපේක්ෂකයින්ගේ නියමිත විභාග මධ්‍යස්ථාන වෙනස් කළහොත් එවිටද ඔවුන් මානසික වශයෙන් යම් කැළඹිලි ස්වභාවයක් ඇති විය හැති බැවින් ඒ පිළිබඳ වඩාත් අවධානය යොමු කළ යුතු බවද පැවසීය.

    එසේම මෙවර අ.පො.ස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණදෙන සියලුම දරුවන්ගේ උපදෙස් ලබා ගැනීමේ උපදෙස් පත්‍රිකාවක් අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙහි ඇතුලත් කරන බවත් ඒ හරහා සියලු තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇති කර ඇති බව පැවසීය. මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලුම පළාත් අධ්‍යක්ෂක, කලාප අධ්‍යක්ෂක, විදුහල්පතිවරුන්ගේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද පැවසීය.

    මෙම අසීරු මෙහෙයුම රජය විසින් විශාල අවදානමක් ගෙන දරුවන් වෙනුවෙන් සිදු කරන බවත් මේ වැඩපිළිවෙල සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ගමනාගමන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයන්ගේ උපරිම සහය ඇතිව සිදු කරනු ලබන සුවිශාල වැඩපිළිවෙලක් බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya