එදා ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම පරිසරයද විනාශ කර දැමු අය අද මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් කුමන ප්‍රකාශ සිදු කළද, අද රටේ ආර්ථිකය ශක්තිමත් සහ සුරක්ෂිත වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදී යුද්ධය ජය ගත්තා සේම, කෝවිඩ් සාර්ථකව පාලනය කළා සේම, ආර්ථික යුද්ධයද සාර්ථකව ජය ගන්නා ආකාරය හොඳින් බලාගෙන සිටින්න යැයි, 20 වන සංශෝධනය බිල්ලෙක් ලෙස පෙන්වා රට මුළා කරන අයට මෙන්ම බොරු කිය කියා ජනතාව රවටන අයට තමන් ප්‍රකාශ කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ “ඔබට ගෙයක් - රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නව නිවාස ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට (01) දින සහභාගී වෙමිනි.
මෙහිදී ගම්පහ දිස්ත්‍රික්කයේ, දිවුලපිටිය ආසනයේ බඩල්ගම, ගුරුල්ලගම, නරියමුල්ල සහ ඕතරවාඩිය යන ප්‍රදේශවල ඉදිකිරීමට නියමිත නව නිවාස සඳහා අමාත්‍යවරයා විසින් මුල්ගල තබන ලදි. මෙම වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් නව නිවාස 150 ක් සඳහා මුල්ගල් තැබීම් සිදු කිරීමට නියමිතය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය සහ නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරී මාසයේදී “ඔබට ගෙයක් - රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන ආරම්භ කරන ලදි. මෙම වැඩසටහන යටතේ ග්‍රාමසේවා මට්ටමින් දිවයින පුරා නිවාස 14,022 ක් ඉදි කෙරේ.