ඔක්තෝබර් 19, 2020
tami eng youtube  twitter facebook

    විදුලිබල ජනනය දෙගුණයක් කිරීමේ ජාතික අවශ්‍යතාවය අභියෝගයක් සේ බාරගන්නවා- අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

    සැප්තැම්බර් 26, 2020

    "බලශක්තිය අභියෝගයක් ලෙසින් අභිමුවේ පවතින රටක් වශයෙන්, විදුලි බලයට අදාළ තාක්ෂණය නව්‍යකරණය පිළිබදව ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමවේදය සකස්කළ යුතුයි. මේ රටේ බැංකු ක්ෂේත්‍රය සීමාමායිම්, බෙදීම් නොමැතිව විදුලිය සම්බන්ධ කාර්යයන්හිදි ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි. ඒ වගේම විදුලිබලය රටේ සියළු ක්ෂේත්‍රයන්හි නාඹිගත කරුණ ලෙස අපේ න්‍යාය පත්‍රවලට එක්කරගත යුතුයි. රටක් වශයෙන් අපට ඉදිරි ගමනක් තිබෙන්නේ මේ කාරණා පිළිබදව නිවැරදි විද්‍යාත්මක හැදැරීමකින් අනතුරුව එළඹෙන තීරණ වලදී පමණයි. අපේ ඉතිහාසයට වැරදුන තැන තමයි රාජ්‍ය අංශය, පුද්ගලික අංශය කියලා වෙන්කරගත්ත එක. බලකොටු හදාගත් එක. අපේ රාජ්‍යය ඉදිරිපිට දැන් තිබෙන මෙම අභියෝග ඒ ආකාරයෙන් බෙදී වෙන්වී, බලකොටුගතවී විසඳාගත නොහැකි බව අප තේරුම්ගත යුතුයි" යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, (24) පස්වරුවේ කිංස්බරි හෝටලයේ පැවති ලංකා විදුලි පුද්ගලික සමාගම, මොරටුව විශ්ව විද්‍යාලය හා එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම මයික්‍රෝග්‍රිඩ් නියමු ව්‍යාපෘතිය දියත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

    මෙම ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 1.8 ක මූල්‍යාධාර ලබාදී ඇති අතර ඩීමෝ සමාගම ජර්මානු බලශක්ති ප්‍රමුඛයෙකු වන DHYBRID හා එක්ව බලශක්ති උත්පාදනය හා ගබඩා කිරීම ඇතුළත් පුළුල් පුනර්ජනනීය මයික්‍රෝග්‍රිඩ් බලශක්ති විසදුමක් ලබාදීමට නියමිතය. මයික්‍රෝග්‍රිඩ් බලශක්ති ක්‍රමවේදය මේ වනවිටත් රට පුරා පාරිභෝගිකයින් සදහා අඛණ්ඩව විදුලි බෙදාහැරිම සදහා යෝජිත ආකෘතියකි.

    මෙහිදී අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය අලහප්පෙරුම මහතා..,

    "ජනාධිපතිතුමා රටට ඉලක්කයක් දීලා තිබෙනවා. 2030 වනවිට පුනර්ජනනීය සහ හරිත විදුලිය 70% ක් බවට පත්කරවීම. මේ ඉලක්කය හඹාගෙන යාමේදී ඉලක්ක දෙකක් ජයගත යුතුයි. ඉන් එකක් තමයි 2023 වනවිට දැනට ජනනය වන විදුලිය දෙගුණයක් වියයුතුයි. අනෙක් ඉලක්කය තමයි 2023 වනවිට ඩීසල් මත යැපෙන, අපේ ආර්ථිකය දහනය වන විදුලි දායකත්වය 5% කට වඩා අවම කරගත යුතුයි. මේ ඉලක්ක හඹාගෙන යාමේදී අද හදුන්වාදෙන මයික්‍රෝගිඩ් තාක්ෂණය තුළින් ඉතාම වැදගත් මැදිහත්වීමක් ලබාදෙනවා. අද උදාවෙලා තිබෙන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ වර්තනීය අවස්ථාවක්. ශ්‍රී ලාංකීය තාක්ෂණයේ නව්‍යකරණය පිළිබඳ අද අපි සියලු දෙනාම ඇසින් දුටු සාක්ෂිකරුවන් බවට පත්වෙනවා. ජාතික අභියෝගයක් වශයෙන් සලකන විදුලිබල හා බලශක්තිය යන කාරණයේදී සියලු භේද ඉවතදාලා පාර්ශවයන් කිහිපයක්ම අද එකතුවෙලා තිබෙනවා. රටක් විදියට මේ අභියෝගය අපි බාරගත යුතුයි.

    දේශපාලන ශබ්දකෝෂයේ නම් බලය බෙදාහැරීම, බලය බෙදාගැනීම පිලිබදව නොයෙකුත් තර්කවිතර්ක තිබෙනවා. දේශපාලනයේ එය සාමාන්‍ය දෙයක්. නමුත් බලශක්තිය පිළිබද අභියෝගයකදී බලය බෙදාගැනීම, බලය බෙදාහැරීම, වඩාත් පලදායි ක්‍රමවේදයන් බව නිසැකයි. ජාතික අභියෝග බාරගැනිමට හොඳම උදාහරණයක් තමයි අද මේ සිදුවන්නේ. විදුලිය පිළිබඳ අභියෝගයේදී අපි සැලකියයුතු කරුණු රාශියක් තිබෙනවා. අපි කොහොමද සාධාරණ මිළක් යටතේ ජනතාවට විදුලිය ලබාදෙන්නේ. අපි කොහොමද අඛණ්ඩ ගුණාත්මක විදුලි සැපයුමක් ලබාදෙන්නේ. අපි කොහොමද පරිසරය රැකගන්නේ. මේ අභියෝග හඹාගෙන යාමේදී, අද අපි මේ ලබාදුන් පූර්වාදර්ශය සියලු පාර්ශවයන් තම අනාගත සැලසුම් වල ප්‍රධාන මගපෙන්විමක් ලෙස භාවිතා කරයි කියලා මම හිතනවා.

    අපේ විදුලි පද්ධතියේ 10 % ක් පමණ පාරිභෝගිකයා අතරට ගෙනයන ලංකා විදුලි පුද්ගලික සමාගම මෙම මයික්‍රෝග්‍රිඩ් ව්‍යාපෘතියේ එක් පාර්ශවකරුවෙක්. ආපේ රටේ ජාතික විදුලි ඉංජිනේරු අධ්‍යාපනයේ 50% කට ආසන්න අවස්ථාවක් ලබාදෙන මොරටුව විශ්ව විද්‍යාලය, විදුලිය සදහා වැඩිම පිරිවැයක් දරන ආසියානු සංවර්ධන බැංකුව, මේ රටේ නව්‍යකරණය සහ තාක්ෂණය සම්බන්ධයෙන් ඓතිහාසික හිමිකමක් දරණ ඩීමෝ ආයතනය සහ ජාත්‍යන්තරයේ දැවැන්තයෙක් වන ජර්මන් රජයේ ද හයිබ්‍රිඩ් ආයතනය මෙම ව්‍යාපෘතියේ කොටස්කරුවන් බවට පත්වෙලා තිබෙනවා. මේ සියලු පාර්ශවයන් අද එක්වෙලා වැදගත් ජාතික මෙහෙවරකට එක්වෙලා සිටිනවා. මේ තාක්ෂණ නව්‍යකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් කැපවුනු, මෙහෙයවුනු නායකත්වය දුන් සියලු දෙනාටම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදුලිබල අමාත්‍යාංශයේ ගෞරවය පිරිනමනවා" යැයි පැවසීය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, ඩීමෝ ආයතනයේ සභාපති රංජිත් පණ්ඩිතගේ, විදුලි පුද්ගලික සමාගමේ සභාපති නීතීඥ අතුල ප්‍රියදර්ශන ද සිල්වා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya