නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2021 - 2025 රත්නපුර දිස්ත්‍රික්කයේ පානීය ජල සැපයුම් සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්- නව ජල සබඳතා 138,900 ක්

    සැප්තැම්බර් 25, 2020

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන රටටම පානීය ජලය ලබාදීමේ ජාතික සැලැස්ම අනුව 2021 - 2025 රත්නපුර දිස්ත්‍රික්කයේ පානීය ජල සැපයුම් සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙහි ප්‍රාදේශීය සහය සේවා මධ්‍යස්ථානය සබරගමු කාර්යාලයේ දී 25 දින පැවැත්විණි.

    රත්නපුර දිස්ත්‍රික්කයේ දැනට ජල සම්පාදන මණ්ඩලය මඟින් නල ජල පහසුකම් 18.9% ක් ආවරණය කර ඇති අතර, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව හා ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් 24.6% ප්‍රමාණයක් ආවරණය කර ඇත.

    නව රජයේ සංකල්පයක් වන සැමට පිරිසුදු පානීය ජලය ලබාදීමේ ප්‍රතිපත්තිය යටතේ 2025 වන විට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් රත්නපුර දිස්ත්‍රික්කයේ නව නළ ජල පහසුකම් 65% දක්වා වැඩි කරන අතර, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව හා ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් 33% ක ප්‍රමාණයක් ආවරණය කිරීමට යෝජිත වේ.

    මේ අනුව 2025 වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ පිරිසිදු නල ජල පහසුකම් ලබාදීම 98% ක් දක්වා ආවරණය කිරීමට කටයුතු සම්පාදනය කරන අතර, 2% ක ප්‍රමාණය ළිං හා වෙනත් ජල ප්‍රභවයන් මඟින් පිරිසිදු පානීය ජලය ලබා ගනු ලැබේ.

    2020- 2025 දී යෝජිත නව ව්‍යාපෘති හා පවතින ජල සම්පාදන ක්‍රමයන් වැඩිදියුණු කිරීම සදහා රුපියල් මිලියන 49,000 ක පිරිවැයක් දරමින් නව ජල සම්බන්ධයන් 138,900 ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂිත වේ.

    කුරුවිට, බලංගොඩ අදියර ii , විසල් රත්නපුර අදියර ii, ඇහැලියගොඩ, දොලොස්වල, කිරිඇල්ල, කලවාන, ඇඹිලිපිටිය හා ඕපනායක යන ප්‍රදේශ තුල ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ජල සම්පාදන ව්‍යාපෘති වලින් 34.87% ක නව ජල සැපයුම් ලබා දීමට හැකි වේ.

    රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, හිටපු සබරගමු පළාත් සභා අමාත්‍යවරුන් වන රංජිත් බණ්ඩාර, අතුල කුමාර රාහුබද්ද, හිටපු පළාත් සභා මන්ත්‍රී නමින්ද අනුරප්‍රිය, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.කේ. කපුරුගේ, ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ රත්නපුර දිස්ත්‍රික් කළමනාකරු එස්. පී. ගමගේ, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත්‍රික් ස්ථානභාර නිලධාරි අරුණ විජේරත්න, ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya