අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්නිදිග ආසියාවේ සමෘද්ධිය උදෙසා සාමූහික ප්‍රයත්නයක ඇති වැදගත්කම පිළිබඳව 27 වැනි ආසියාන් කලාපීය සංසදයේ දී ශ්‍රී ලංකාව අවධාරණය කරයි

    සැප්තැම්බර් 14, 2020

     අග්නිදිග ආසියාවේ සමෘද්ධිය උදෙසා සාමූහික ප්‍රයත්නයක ඇති වැදගත්කම පිළිබඳව 27 වැනි ආසියාන් කලාපීය සංසදයේ දී ශ්‍රී ලංකාව අවධාරණය කරයි

    27 වැනි ආසියාන් කලාපීය සංසදය සැප්තැම්බර් 12 වැනි දින අතථ්‍ය රැස්වීමක් ලෙස පැවැත්විණි. මෙම සමුළුවට කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය.

    රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා සිය ප්‍රකාශයෙහි දී මෙම කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින ආසියාන් කලාපීය සංසදයෙහි කාර්යභාරය පිළිබඳව ප්‍රශංසා කළේය. කලාපයේ සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා සියලු සාමාජික රටවල්වල ඵලදායී සංවාද, උපදේශන සහ සහයෝගීතාවය පිළිබඳ සාරධර්මවල වැදගත්කම ඉස්මතු කරමින්, සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජනවලට විසඳුම් සෙවීම සඳහා ආසියාන් කලාපීය සංසදයේ සාමාජික රටවල් සාමූහිකව යත්න දැරිය යුතු බව ශ්‍රී ලංකාවේ ඉල්ලීම විය.

    කොවිඩ්-19 ගෝලීය වසංගතයේ මහජන සෞඛ්‍ය අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති සැලකිල්ලට ගනිමින්, මෙම ගෝලීය වසංගත තත්ත්වයෙන් පසුව ආර්ථික වශයෙන් ප්‍රකෘතිමත් වීමේ දුෂ්කර කාර්යයට මුහුණ දීමට සහ එහි පුරවැසියන්ගේ ජීවනෝපාය නැවත ගොඩනැංවීම සඳහා ආසියාන් කලාපීය සංසදයෙහි සියලුම සාමාජිකයින්ගේ සාමූහික ප්‍රයත්නයන් අත්‍යවශ්‍ය වන බව ඔහු අවධාරණය කළේය. එම සන්දර්භය තුළ සමෘද්ධිය ළඟා කර ගැනීම සහ ජනතා කේන්ද්‍රීය ආර්ථික සංවර්ධන සැලැස්මක් ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන වන බව රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා සඳහන් කළේය.

    සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන ආරක්ෂක ගැටලු සහිත දුෂ්කර කාලවල දී, මෙම ගැටලු තවදුරටත් අදාළ රටක භූගෝලීය සීමාවන්ට සීමා නොවන බව මූර්තිමත් කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා තවදුරටත් අවධාරණය කළේය.

    මේ සම්බන්ධයෙන්, කලාපීය ස්ථාවරත්වය සහ ප්‍රකෘතිමත් වීම, ප්‍රායෝගික ආරක්ෂක සහයෝගීතාව, සමුද්‍රීය හා සයිබර් ආරක්ෂාව, ත්‍රස්තවාදය මැඩපැවැත්වීම හා දේශසීමා ඉක්මවමින් සිදුකෙරෙන අපරාධ සහ න්‍යෂ්ටික අවි සීමා කිරීම හා නිරායුධකරණය යන කරුණු වැදගත් ලෙස ශ්‍රී ලංකාව සලකයි. මෙම සන්දර්භය හමුවේ, සිය අනාගත දිශානතිය තුළ සියල්ල ඇතුලත් ප්‍රවේශයකින් මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමට ආසියාන් කලාපීය සංසදය උත්සාහ දැරිය යුතු බව ද එතුමා අවධාරණය කළේය.

    ගෝලීය ආරක්ෂාවට විශාල බාධාවක් වන තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය (ICT) අනිසි ලෙස භාවිතා කිරීම තවදුරටත් අවධාරණය කළ ශ්‍රී ලංකාව, සයිබර් අපරාධ, තීරණාත්මක යටිතල පහසුකම්වලට එල්ල වන සයිබර් ප්‍රහාර වැනි තර්ජන, එක්ව කටයුතු කරමින් අවම කිරීම සඳහා සාමූහිකව ප්‍රයත්න දරන ලෙස ඉල්ලා සිටියේය.

    කලාපීය යාන්ත්‍රණයක් ලෙස, ත්‍රස්තවාදය හා දේශසීමා ඉක්මවමින් සිදුකෙරෙන අපරාධ මැඩපැවැත්වීම සඳහා ආසියාන් කලාපීය සංසදය සාර්ථකව කටයුතු කර ඇති බවත්, මෙම ගැටලුවලට විසඳුම් සෙවීමේ දී තනි රටක පිළියම් ප්‍රමාණවත් නොවන අතර, මෙම දේශසීමා ඉක්මවමින් සිදුකෙරෙන අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා සාමූහික ප්‍රයත්නයක් දරන ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකාව තවදුරටත් සඳහන් කළේය.

    2020-2025 කාලය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත හැනොයි ක්‍රියාකාරී සැලැස්ම II (HPOA) 27 වැනි ආසියාන් කලාපීය සංසදයේ දී සම්මත කරන ලදී. 1997 දී සම්මත කරන ලද ආසියාන් දැක්ම 2020 හි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වන ක්‍රියාකාරී සැලසුම් මාලාවක පළමු වැන්න වූ හැනොයි ක්‍රියාකාරී සැලැස්ම I මඟින් 1999-2004 කාලපරිච්ඡේදය ආවරණය කරන ලදී. සාමාජික රටවල ආර්ථික මූලධර්ම වඩාත් ඒකාබද්ධ සහ ශක්තිමත් කරමින්, සමීප කලාපීය සංකලනයක් ගොඩනැගීම අරමුණු කරගත් හැනොයි ක්‍රියාකාරී සැලැස්ම II, එහි අනුගාමී වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.

    මැලේසියාව, කැනඩාව, ඉන්දුනීසියාව, ඇමරිකා එක්සත් ජනපදය, පිලිපීනය, ජපානය, කාම්බෝජය, දකුණු කොරියාව, සිංගප්පූරුව, බෲනායි දරුස්සලාම්, ඕස්ට්‍රේලියාව, ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, නවසීලන්තය, තායිලන්තය, චීනය, යුරෝපා සංගමය, බංග්ලාදේශය, ටිමෝර් ලෙස්ටේ, මියන්මාරය, පාකිස්ථානය, මොන්ගෝලියාව, පැපුවා නිව්ගිනියාව, ඉන්දියාව, කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ජනරජය, රුසියාව සහ වියට්නාමය යන රටවල් විසින් 27 වැනි ආසියාන් කලාපීය සංසදය නියෝජනය කරන ලදී.

    ආසියාන් සංවිධානයේ අනුග්‍රහය යටතේ 1993 වසරේ දී ආසියාන් කලාපීය සංසදය පිහිටුවන ලද අතර, 2007 වසරේ සිට ශ්‍රී ලංකාව එහි සාමාජිකත්වය දරයි. අග්නිදිග ආසියානු කලාපය තුළ පොදුවේ උනන්දුවක් හා සැලකිල්ලක් දක්වනු ලබන දේශපාලන හා ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් ඵලදායී ආරක්ෂක සංවාදයක් සහ උපදේශනයක් සැපයීම සඳහා එය වැදගත් වේදිකාවක් වෙයි. ආසියා-පැසිෆික් කලාපය තුළ විශ්වාසය ගොඩනැගීම සහ නිවාරණය කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීම පිණිස සාමාජික රටවලට මෙමඟින් වේදිකාවක් සපයයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya