මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් රාජකාරි අරඹයි- රජයේ හෝ වෙනත් ප්‍රධානියෙකුගේ හොරණෑවක් නොවී මාධ්‍ය අහිංසක ජනතාවගේ හොරණෑවක් විය යුතුයි

    අගෝස්තු 17, 2020

    ජනමාධ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් රාජකාරි අරඹයි-  රජයේ හෝ වෙනත් ප්‍රධානියෙකුගේ හොරණෑවක් නොවී මාධ්‍ය අහිංසක ජනතාවගේ හොරණෑවක් විය යුතුයි- ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්

     

    ජනමාධ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් ජගත් පී. විජේවීර මහතා අද (17) ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී රාජකාරි ආරම්භ කළේ ය.

    ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වශයෙන්ද, සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපති වශයෙන්ද, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වශයෙන්ද මින්පෙර නිලතල රැසක්  හෙබවූ ජගත් පී විජේවීර මහතා පළපුරුදු පරිපාලන නිලධරියෙකි.

    තමා අපේක්ෂා නොකළ ද තමාව අභිනව ලේකම් ධූරයට පත්කිරීම සම්බන්ධව ජනපතිට, අගමැතිට, ඔවුන්ගේ ලේකම්වරුන්ට, මාධ්‍යයට සහ සියලු පාර්ශවයන් වෙත ස්තූතිය පළකරන බව කීය.

    පසුගිය වකවානුව තුළ ඉතාමත් දරුණු ලෙස රජය සම්බන්ධ මාධ්‍ය ආයතන දැඩි පිරිහීමකට ලක්වූ බවත් එම තත්ත්වයෙන් මිදීමට ලොකු වෑයමක් කළ යුතු සේම විශාල සැලසුම් සකස් කරමින් ඒ  සම්බන්ධව ක්‍රියා කළ යුතු බව ද රාජකාරි ආරම්භ කරමින් ලේකම්වරයා පැවසිය.

    මාධ්‍ය නොමැතිව බැරි තැනකට සමාජය ගොස් ඇති බවත්, අද මාධ්‍ය සංස්කෘතියෙහි හොඳ පිළිබදව කතා කිරීමට විශාල දේවල් ඇති බවද, එමෙන්ම යම් යම් විවේචන වලට හසුවන අවස්ථාද එමට බව ද ජගත් මහතා පැවසුවේය.

    එමනිසා ඉතා පරිස්සමෙන් රජයේ සහ ජනතාවගේ සුභසිද්ධිය සදහා මාධ්‍ය ඇප කැප විය යුත්තේ කෙසේද යන්න අප සිතා බැලිය යුතු කාලයක් එළඹ ඇති බවද ඔහු සිහි කළේය. රජයේ සහ වෙනත් මාධ්‍ය, තම මාධ්‍ය ආයතනය රජයේ, යම් අමාත්‍යවරයෙකුගේ, යම් ආයතන ප්‍රධානියෙකුගේ හොරණෑවක් ලෙස කිසි විටෙක නොසිතිය යුතු බවත්, එම මාධ්‍ය සම්ප්‍රදායෙන් සම්පූර්ණ මිදිය යුතු බවත්, එය ජනපතිතුමන්ගේ සහ අගමැතිතුමන්ගේ එකම පරමාර්ථය වන බවත් පැවසුවේය.

    මාධ්‍යයට සමස්ත සමාජය මුළුමනින්ම ගොඩනැගීමේ හැකියාවක් මෙන්ම සමාජය මුළුමනින් පරිහානියට පත්කිරීමේ හැකියාවක් ද පවතින බව කීය.

    මේ රටේ සිටින අහිංසක කෝටි ගණනක් ජනතාවගේ හොරණෑවක් බවට මාධ්‍ය පත්විය යුතු බව පැවසූ ජගත් පී විජේවීර මහතා මෙරට සංවර්ධනයේ, සහජීවනයේ, සමාජ ප්‍රගමනයේ, ආගමික ප්‍රගමනයේ ආදී සෑම අංශයක් පිළිබදව සුභදායී ලෙස හිතමින් ඒවායේ හොරණෑවක් බවට පත්වන්නට මාධ්‍යය ක්‍රියා කළ යුතු බවද පැවසීය. එවිට නියම මාධ්‍ය වේදියෙකු අපට හමුවන බවද, එම මාධ්‍යවේදියා හදන තෙක් අපි මේ ගමන යමු යැයි සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටියේය.

    දැනුම එක්වී සොයමින් නිසි අධ්‍යාපනය ලබාගනිමින් මෙරටට යහපත් වැඩදායී මාධ්‍ය සම්ප්‍රදායක් මෙන්ම මාධ්‍ය සංස්කෘතියක් සෑදීමට සැවොම පෙරදැරි වෙමු යැයි ද  ලේකම්වරයා සැමගෙන් ඉල්ලා සිටියේය.

     ජගත් පී. විජේවීර මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් ධූරයෙහි රාජකාරී අරඹන අවස්ථාව සදහා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතන ප්‍රධානීන් මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාද සහභාගී වී සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya