අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය අංගසම්පූර්ණ ජාතික ආයුර්වේද විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට පියවර

    ජූලි 09, 2020

    ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය අංගසම්පූර්ණ ආයුර්වේද විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල යෝජනාවට කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරය මේ බව ප්‍රකාශ  කළේ, අද (09) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

    දේශීය වෛද්‍ය විද්‍යාව අප රටෙහි මුල සිට පැවත ආ ආකාරය පිළිබදව අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ, මෙය අප රටෙහි ඉතිහාසයේ ගමන්මග වෙනස් කිරීමේ යෝජනාවක් වන බවයි.
    අප රටෙහි පෞරාණික ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියූ පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ ලෝකය විශ්මයට පත් කළ දේශීය වෛද්‍ය ක්‍රමයක් අප ජාතිය සතුව පැවති බව සිහිගැන්වූ අමාත්‍යවරයා, අනුරාධපුර පොළොන්නරු යුගවල පැවති රෝහල් පිළිබදව පුරාවිද්‍යා කැනීම්වලදී අධ්‍යයතන වෛද්‍ය විද්‍යාඥයන් විශ්මය පළකර ඇති බවයි.

    අමාත්‍යවරයා,පවසන පරිදි අප රට බ්‍රිතාන්‍ය සහ වෙනත් යටත්විජිතවාදයට නතුවීම කරණ කොට ගෙන දේශීය වෛද්‍ය ක්‍රමය වෙනුවට බටහිර වෛද්‍ය ක්‍රමය ආදේශ වූ බවයි. එසේ ආදේශ වී තිබුණද අදටත් අප රටෙහි මුළු ජනගහණයෙන් පහෙන් එකක් එනම් සිටටය විස්සක් දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රතිකාර ලබාගැනීම සිදුකරයි. ආයුර්වේද රෝහල් 64ක් අප සතුව පවතියි. ආයුර්වේද බෙහෙත් ශාලා
    284ක් සහ ආයුර්වේද වෛද්‍යවරුන් 1400ක් සිටියි.

    එමෙන්ම පසුගිය කාල පරිච්ඡේදය තුළ දේශීය වෛද්‍ය ක්‍රමයෙහි හෙළ වෙදකම නගාසිටුවීම උදෙසා  ඵලදායී පියවර ගෙන ඇත්තේ අඩුවෙන් බවට චෝදනාවක් පසුගිය කාලපරිච්ඡේදය පුරාම පැවති බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

    කෙසේ වෙතත් මීට අවුරුදු 91 කට පෙර බ්‍රිතාන්‍ය යටත් විජිත සමය තුළ 1929 වසරේ ජූනි 10 වන දින පාරම්පරික වෛද්‍යවරුන් විසින් බ්‍රිතාන්‍ය රජයට එල්ල කළ පීඩනය මත රාජගිරියේ දේශීය
    වෛද්‍ය ආයතනයක් ඉදිවිය.
    ඉන් පසුව ගම්පහ අති සුප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරයෙකු ලෙස සැලකෙන ජී.පී. වික්‍රමාරච්චි මැතිතුමා ගම්පහ සිද්ධායුර්වේදය 1929 වසරේ ජූලි 19 දින ඇරඹි බව ගම්පහ ආයුර්වේද විද්‍යායතනය බිහිවීමේ පසුබිම සිහිගන්වමින් අමාත්‍යවරයා කියාසිටියේය.

    ජී.පී. වික්‍රමාරච්චි මහතාගේ මෙහෙවර අගයමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එතුමා මේ රටේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබද සම්භාවනාවට පාත්‍රවූ ඉසිවර ප්‍රතිභා ප්‍රභා සහිත වෛද්‍යවරයෙකු
    බවත් ඒ හේතුවෙන් ජනතා උපහාර මධ්‍යයේ ඔහු සෙනට් සභිකයෙකු ලෙස පත්වී ජාතියට සුවිශාල සේවයක් සිදුකළ බවයි. එම අපරිමිත මෙහෙවර සිහිගන්වනු වස් කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධව පවතින ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය අදටත් එතුමා නමින්ම පවතියි.

    මෙම ආයුර්වේද විද්‍යායතනය මේ වන විට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනයක් වශයෙන් පවත්වාගෙන යනු ලබන අතර, එමගින් ආයුර්වේද සහ ඊට අනුබද්ධ විද්‍යාවන්හි උපාධි හා පශ්චාත් උපාධි පිරිනමනු ලබයි.

    රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති රාමුව මගින් එම ආයතනය අංග සම්පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට උසස් කිරීම සදහා හදුනාගෙන ඇත. ඒ අනූව මෙරට සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රම අධ්‍යයනය කෙරෙහි ප්‍රමුඛතාවය ලබාදෙමින් පවත්වාගෙන යනු ලබන විශ්ව විද්‍යාලයක් ලෙස ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය උසස් කිරීම පිණිස උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya