මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      “සෞඛ්‍ය සම්පන්න වෙළඳපොළක්” ඇතිකර ගනිමු - “COVID-19 වළකමු - ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරමු ”

    ජූනි 08, 2020

     

    “සෞඛ්‍ය සම්පන්න වෙළඳපොළක්” ඇතිකර ගනිමු “COVID-19 වළකමු - ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරමු ”

    “සෞඛ්‍ය සම්පන්න වෙළඳපොළ” සංකල්පය යතාර්තයක් බවට පත් කර ගැනීම සදහා ප්‍රතිපත්ති සම්පාදකයින්ටත්, වෙලඳ ප්‍රජාවටත් ,මහජනතාවටත් සහාය වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරන්තරයෙන් සූදානම්.

    ලෝක ආහාර සුරක්ෂිතතා දිනය ජූනි මස 07 වනදාට යෙදී තිබේ.ආහාර සුරෂිතතාව - සියලු දෙනාගේම වගකීමකි (Food safety – everyone’s business )

    තේමාවෙන් මෙවර ලෝකයේ මෙම දිනය සමරනු ලබයි. “සෞඛ්‍ය සම්පන්න වෙළඳපොළක් ”ඇතිකර ගැනීම තුලින් “COVID-19 වළකමු - ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරමු ” යන තේමාවෙන් ශ්‍රී ලංකාවේද ආහාර සුරක්ෂිතතා දිනය නිමිත්තෙන් වැඩසටහන් සංවිධානය වේ.මෙසේ සමස්ත ලෝක වාසීන් වෙනුවෙන්ම සුරක්ෂිත ආහාර ලබාදීම තහවුරු කිරීම අරමුණු කර ගනිමින් මෙම දිනය මුල් කර ගෙන ලොව පුරා විවිධ ක්‍රියාකාරකම් සිදුකෙරේ.

    ආහාර නිපදවීමේදි, පරිහරණය කිරීමේදි සහ ගබඩා කිරීමේදි, මෙන්ම ආහාර පිරිනැමීමේදීද ආහාර මඟින් ඇතිවන රෝග වළක්වා ගත හැකි පරිදි කටයුතු කල යුතුය.එය ‘ආහාර සුරක්ෂිතතාව‘ නමින් හැදින්වේ. බොහෝ අවස්ථාවල ලාභයම අරමුණු කර ගැනීමත් අති විශාල ජනතාවකට ආහාර සැපයීමේ භාරධූර බවත් ඇතුළුව කරුණු ගණනාවක් නිසා වර්තමානයේ “ ආහාර සුරක්ෂිතතාව” නොයෙකුත් අභියෝගයන් රැසකට මුහුණපා ඇත. මේ අතරින් ආහාරවල තත්වය බාල කිරීම, ක්ෂුද්‍ර ජීවින්, රසායනික ද්‍රව්‍ය හා විකිරණ මඟින් ආහාර දූෂණය වීම කරුණු ප්‍රධාන වේ.

    මෙසේ දූෂණයට ලක්වූ ආහාර පරිභොජනය හේතුවෙන් පාචනය වැනි උදරාබාධ මෙන්ම පිළිකා ආදී මාරාන්තික රෝගද ඇතුලත්ව රෝග 200 පමණ වැලදීමේ ඉඩකඩ පවතී.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා පෙන්වා දෙන්නේ දූෂණය වූ ආහාර පරිභොජනය හේතුවෙන් ලෝකයේ එක් වසරක් තුල පුද්ගලයන් 420,000 ක් පමණ මරණයට පත්වන බවයි.ඊට අමතරව ලෝකයේ මිලියන 600 ක් පමණ පුද්ගලයින් ප්‍රමාණයක් විවිධ රෝගවලට ලක් වීමට මෙම දූෂිත ආහාර අනුභව කිරීම හේතු වෙයි. වඩාත් විශ්ලේශණය කර සලකා බලන කල පෙනී යන්නේ වසරක් තුල සෑම පුද්ගලයින් 10 දෙ‍නෙකුගෙන් එක් අයෙකු රෝගීබවට පත් වීමට හේතුවක් වන්නේ විවිධ ද්‍රව්‍ය වලින් දූෂණය වූ ආහාර පරිභොජනයයි. මෙසේ රෝගී බවට පත්වන ප්‍රමාණයෙන් 40% වයස අවුරුදු 5ට අඩු දරුවන් වීම කණගාටුවට කරුණකි.වඩාත් අනුවේදනීය කරුණ වන්නේ රෝගී වන දරුවන්ගෙන් 125,000 ක් වාර්ෂිකව මරණයට පත් වීමයි. ආහාර නිපදවීමේ, සැකසීමේ සිට පිලිගැන්වීම දක්වාත්, ආහාර අනුභවයේදීත් නිසි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කිරීමෙන් මෙසේ ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් නිකරුණේ රෝගී වීම සහ මරණයට පත් වීම වලක්වා ගැනීමට හැකිවේ.

    මෙසේ සෞඛ්‍යාරක්ෂිතව ආහාර ලබාදීමේ අභියෝගයට මුහුණ දීමට අන් කවර කලකටත් වඩා කොවිඩ් -19 වැනි බෝ වන රෝග පැතිරී යන මෙවැනි කාල වකවානුවල වැඩි අවධානයෙන් කටයුතු කල යුතුය .

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර බලධරයා වන සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ උපදෙස් හා මග පෙන්වීම මත ආහාර සුරක්ෂිතතාව පිලිබදව රාජකාරි ඉටු කරන ප්‍රධානතම නිලධාරීන් කණ්ඩායම ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හැඳින්විය හැකිය. මහජනතාව දැනුවත් කිරීම, ආහාර සාම්පල ලබාගෙන ඒවායේ තත්වය පිළිබද පරීක්ෂණ කිරීම,ආහාර නිපදවීමේ සිට වෙලදපලේ ආහාර අලෙවිය හා පිලිගැන්වීම ඇතුලුව සියලු කටයුතු පිළිබඳනිරන්තරයෙන් අවධානයෙන් සිටින ප්‍රධානතම පිරිස වන්නේද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ය. මහජතාවට සුරක්ෂිත ආහාර ලබා නොදෙන අයවලුන්ට තරාතිරම නොබලා නඩු පවරමින් සමාජය නිවැරදි කිරීමටද අප විසින් පසුගිය කාලය පුරා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කලෙමු. මීට අමතරව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් තවත් රාජකාරි ගණනාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දිවා රැ නොබලා වෙහෙසී ඉටු කරති.

    2020 ලෝක ආහාර සුරක්ෂිතතා දිනයට සමගාමීව ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට නව වැඩසටහන් කිහිපයක්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පර්යේෂණ අංශය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙයි.වසර පුරා සිදුකරන ආහාර පරිහරණ ආයතන පිලිබද විශේෂ පර්යේෂණය දැනටමත් ආරම්භ වී තිබේ . ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය ක්ෂණිකව ලබාගැනීමට සහායවන ක්ෂණික දුරකතන අංකයක් ඉදිරියේදී කඩිනමින් මහජනතාවට හඳුන්වාදීමද සිදුවනු ඇත. ඒ පිළිබඳ කටයුතු දැනටමත් ආරම්භකර තිබේ. ආහාර පරිහරණ ආයතන සම්බන්ධව මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබාදෙන සේවාව සම්බන්ධව යෝජනා හා චෝදනා ද එම ක්ෂණික ඇමතුම් අංකයට ලබාදීමේ පහසුකම තවත් මසකින් පමණ මහජනතාවට හිමිවනු ඇත. ආහාර සුරක්ෂිත තාවය පිළිබඳව සියලු අංශ දැනුවත් කරන සමාජ අලෙවිකරණ වැඩසටහනද සැලසුම් කරමින් පවතී.ශ්‍රී ලාංකික ආහාර පරිහරණ ආයතන විසින් ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සිදුකරන ක්‍රියාකාරකම්වල ක්ෂණික හා තිරසර ප්‍රගතියක් අත්පත් කර දීමටද මෙම ව්‍යාපෘතිය දායක වනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය බලාපොරොත්තු වෙයි.

    නවීන යුගයට ගැලපෙන තවත් විශේෂ වැඩසටහන් ගණනාවක් සමග ශ්‍රී ලාංකිකයින්ට සුරක්ෂිත ආහාර ලබාදීම සහතික කිරීමට වඩ වඩාත් කැපවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස බලාපොරොත්තු වෙමු.එහිදී නිරන්තර මහජන සහාය අත්‍යවශ්‍ය වෙයි.අවශ්‍ය අවස්ථාවලදී, ඔබේ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සමග එක්වී රටේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමේ මේ ජාතික කාර්යය ඉටුකිරීමට තව තවත් සමීපව අත්වැල් බැඳගන්නා ලෙස අද දිනයේ සමස්ත මහජනතාවට කාරුණිකව ආරාධනා කර සිටිමු.

    (සටහන -මාධ්‍ය සම්බන්ධීකාරක , ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය)

     

    එම්.ජී.යු.රෝහණ

    ගරු සභාපති

    ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya