අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් අබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබඳ 9 වන ජාත්‍යන්තර සමුළුව අද කොළඹ දී ඇරඹේ

    පෙබරවාරි 23, 2020

    සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් අබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව පෙබරවාරි 23 සිට 26 දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ්  හෝටලයේ දී පවත්වනු ලබයි.

     “සැමට සෞඛ්‍ය: උපත් ආබාධ වැළැක්වීමට සත්කාර ක්‍රමවේද වේගවත් කරමු” තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙන අතර ලෝකය පුරා රටවල් 36 ක් නියෝජනය කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ තරාතිරමේ විද්වත්හු 350 ක් පමණ සහභාගී වීමට නියමිතයි.
    උපත් ආබාධ නිසා සිදුවන ව්‍යාධි තත්ත්වයන් සහ මරණ පිළිබඳව ලබා දී ඇති ප්‍රමුඛතාවය අවම මට්ටමක පවතී. එමනිසා උපත් ආබාධ වළක්වා ගැනීම සහ එබඳු ආබාධ සහිත දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නැංවීම සහ ඔවුන්ට ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට කළ හැකි දේ පිළිබඳව දැනුම හුවමාරු කර ගැනීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වේ.


    ලෝකය පුරා සෑම වසරකම මිලියන 8 ක් පමණ උපත් ආබාධ සහිත දරුවෝ ළමා පරපුරට එක් වෙති. ශ්‍රී ලංකාවේ සෑම වසරකදීම 360,000 ක් පමණ කාන්තාවන් ගර්භනී භාවයට පත්වන අතර ඉන් 326,000 ක් සජීවී දරු උපත් ලබයි. මින් 5800 ක් විවිධ උපත් ආබාධ සහිතව මෙලොව එළිය දකින අතර ඉන් දරුවන් 650 ක් සිය පළමු උපන් දිනය සැමරීමට පෙර මෙලොව හැර යති. උපත් ආබාධවලින් 30% ක් පමණ දරුණු උපත් ආබාධවන අතර එම දරුවන් ජීවත් වුවද ස්වාභාවික ජීවිතයක් ගත කළ නොහැක. මෙම දරුවන්ට අවශ්‍ය සහන ලබා දීමට රටේ ජාතික ආදායමෙන් විශාල මුදලක් වැයවෙනු ඇත.


    සංවර්ධිත රටවල් උපත් ආබාධ බොහොමයක් වළක්වා ගැනීම පිළිබඳව අවධානය යොමු කර තිබුණද සංවර්ධනය වෙමින් පවතින රටවල මේ පිළිබඳව අවධානය අවම මට්ටමක පවතී. මෙහිදී මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගිය ක්ෂේත්‍රවල අවධානය යොමු කරවීමට අපේක්ෂා කෙරේ. තවද උපත් ආබාධ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානවල ඇස් ඇරවීම සඳහා කොළඹ ප්‍රකාශය නමින් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට ද අපේක්ෂිතයි.

    මෙම සමුළුව හරහා ළදරු මරණ අඩු කිරීම අතින් අප රට ලබා ඇති ප්‍රගතිය විදහා දැක්වීමට සහ ළදරු මරණවලට ප්‍රධාන හේතු දෙක ලෙස සැලකෙන නොමේරූ උපත් සහ ආබාධ පිළිබඳව දැනුම වර්ධනය කර ගැනීමටත් ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවනු ඇත.

    මෙම සමුළුව ඇමරිකාවේ මාර්ච් ඔෆ් ඩයිම් ආයතනය, ඇමරිකාවේ රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය, කොළඹ වෛද්‍ය පීඨයේ මානව ප්‍රවේණි ඒකකය, ශ්‍රී ලංකා ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා පරාජන්ම සංගමය, ශ්‍රී ලංකා හෘද සංගමය, ශ්‍රී ලංකා ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ අනෙකුත් උපත් ආබාධ හා ආබාධිත දරුවන් පිළිබඳව කටයුතු කරන සංවිධාන පාර්ශ්වකරුවන් ලෙස කටයුතු කරනු ලැබේ.

     

     ජානමය හෝ පාරිසරික සාධක නිසා ගර්භය තුල දීම ඇති වන ශරීරයේ කොටස්වල ඇතිවන ව්‍යූහාත්මක හෝ ශරීරයේ ඇතිවන විකෘතිතාවයන් උපත් අබාධ වේ. මෙම විකෘතිතාවයන් ගර්භණී  කාලයේ දී හෝ උපතේ දී හෝ උපතින් පසු කාලයේදී හඳුනා ගැනේ.

    ලෝකය පුරා මිලියන 8 ක් පමණ උපත් ආබාධ සහිත දරුවෝ සැම වසරක ම පමණ ළමා පරපුරට එක්‌ වෙති. පළමු වසරේම මිය යන දරුවන්ගේ මිය යාමට ප්‍රධාන හේතුවක් වනුයේ උපත්  ආබාධයි. එපමණක් නොව ජිවත් වන උපතින්ම ආබාධිත දරුවෝ බොහෝ කායික සහ මානසික අබාධ වලින් පෙළෙති. එවැනි දරුවන් නිසා පවුල් වලට, සමාජයට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය අති  මහත් දුෂ්කරතා වලට පත්වේ.

    ශ්‍රී ලංකාවේ සෑම වසරකදීම 360,000 ක් පමණ කාන්තාවන් ගර්භනී භාවයට පත්වන අතර 326,000 ක් සජීවී දරුවන් උපත ලබයි. මින් දරුවන් 5800 ක් විවිධ උපත් ආබාධ සහිතව මෙලොව  එළිය දකින අතර ඉන් දරුවන් 650 ක් සිය පලමු උපන්දිනය සැමරීමට පෙර මෙලොව හැර යති. උපත් ආබාධ වලින් 30% ක් පමණ දරුණු උපත් ආබාධ වන අතර එම දරුවන් ජීවත් වුවද  ස්වාධීන ජීවිතයක් ගත කල නොහැක. ඔවුනට සේවා සැපයීමට සෞඛ්‍ය වැය ශීර්ෂයෙන් විශාල මුදලක්‌ වෙන් වේ. ගර්භයට මාස 7 (සති 28 ) ටපසු කුස තුළ මියයන දරුවන් හෙවත් මල දරු  උපත් 1900 ක් පමණ වසරකට වාර්තා වන අතර ඉන් 35% කළල අබාධ හෝ විකෘතිතා සිදුවන බව හෙලිවී තිබේ.

    බොහෝ උපත් ආබාධ වලක්වා ගත හැකිවා පමණක් නොව උපත් අබාධ සහිතව ජිවත් වන දරුවනට ප්‍රශස්ත දිවි පැවැත්මක් ද ලබාදිය හැකිය...!

    උපත් ආබාධ නිසා සිදුවන ව්‍යාධි තත්ත්වයන් සහ මරණ පිළිබඳව ලෝකය පුරාම රටවල් වල ලබා දී ඇති ප්‍රමුඛතාවය අවමය. එම නිසා උපත් ආබාධ වලක්වා ගැනීම, එබඳු ආබාධ ඇති  දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නැංවීම සහ ඔවුනට ගුණාත්මක ජිවිතයක් ගත කිරීමට කළ හැකි දේ පිළිබඳව දැනුම හුවමාරු කරගැනීම ඉතා වැදගත් වේ. දැනටමත් සොයාගෙන ඇති ක්‍රම වේද  ලෝකයේ සෑම කලාපයකම ක්‍රියාත්මක කිරීම සඳහා සෑම උත්සාහයක්ම ගත යුතුවේ.

    සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් අබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළු:

    දරුවන්ගේ උපත් ආබාධ වලක්වා ගැනීම, එබඳු දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නැංවීම සහ ඔවුනට ගුණාත්මක ජිවිතයක් ගත කිරීමට කළ හැකි දේ පිළිබඳව අඩු අදායම් රටවල ඇති හැකියාව  වැඩි දියුණු කිරීමට වූ අවශ්‍යතාවය හඳුනාගනිමින් මෙම සමුළුව සෑම වසර දෙකකටම වරක් පැවැත්වේ. එමගින් සංවර්ධනය වෙමින් පවතින රටවලින් සහභාගී වන්නන්ට ප්‍රායෝගික ක්‍රමවේද  ලබාදීම, උපත් ආබාධ ආවේක්ෂණය ක්‍රියාත්මක කිරීම, ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සහ ප්‍රතිපාදන ලබාගැනීම පිළිබඳව දැනුම ලබා දීම සිදු කරයි.

    පසුගිය සමුළු:
    බොගෝටා, කොලොම්බියා (2017), ද රු සලාම්, ටැන්සානියා (2015), සීබු, පිලිපීනය (2013), ලොද්ස්, පෝලන්තය (2011), නවදිල්ලිය, ඉන්දියාව (2009), රියෝ ද ජැනෙයිරෝ, බ්‍රසීලය  (2007), බිජිං, චීනය (2005), ජොහැනස්බර්ග්, දකුණු අප්‍රිකාව (2001)

    ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 9 වන සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් අබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව:

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, 9 වන සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් අබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව පෙබරවාරි 23 සිට 26 දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ්  හෝටලයේ දී පවත්වනු ලබයි. මෙම සමුළුව ඇමෙරිකාවේ මාර්ච් ඔෆ් ඩයිම් ආයතනය, ඇමෙරිකාවේ රෝග පාලනය සහ වැළක්වීම පිලිබඳ මධ්‍යස්ථානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය  දායකත්වය සපයයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය, කොළඹ වෛද්‍ය පිඨයේ මානව ප්‍රවේණි ඒකකය, ශ්‍රී ලංකා ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා ප්‍රජා  විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා පරාජන්ම සංගමය, ශ්‍රී ලංකා හෘද සංගමය, ශ්‍රී ලංකා ළමා සංවර්ධනය පිලිබඳ සංගමය, ශ්‍රී ලංකා ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ  අනෙකුත් උපත් අබාධ හා ආබාධිත දරුවන් පිලිබඳව කටයුතු කරන සංවිධාන මීට ක්‍රියාකාරී ලෙස සහභාගී වෙති.

    මෙම සමුළුවේ විෂය ශ්‍රී ලංකාවට ඉතාමත් ම අදාළ වේ. ළදරු මරණ අඩු කිරීම අතින් අප රට ලබා ඇති ප්‍රගතිය විදහා දැක්වීමටත්, ළදරු මරණ වලට ප්‍රධාන හේතු දෙක වන නොමේරු උපත් සහ  උපත් අබාධ පිලිබඳව දැනුම වර්ධනය කරගැනීමටත්, මෙම සමුළුව වැදගත් වේ.

    උපත් අබාධ සමුළුවේ තේමාව: "සැමට සෞඛ්‍ය: උපත් අබාධ වැලක්වීමට සහ සත්කාර ක්‍රම වේද වේගවත් කරමු." මෙය සහශ්‍රක සංවර්ධන ඉලක්ක්ක අංක 3 සහ එහි අරමුණ වන විශ්වීය  සෞඛ්‍ය ආවරණය සමග මනාව පෑහේ.

    ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා මෙම සමුළුවේ සභාපතිත්වය උසුලයි. සම සභාපතිත්වය විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර සහ මාර්ච් ඔෆ් ඩයිම් ආයතනයේ සලිමා වලනි  මහත්මීන් දරනු ලබයි. අධ්‍යයන සැසි සභාපති ලෙස මහාචාර්ය වජිර දිසානායක කටයුතු කරයි. මෙම සමුළුවේ සමාරම්භක සැසිය පෙබරවාරි 23 සවස සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය සේවා ඇමතිනි ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    ලෝකය පුරා රටවල් 36 කින් 350 ක් පමණ විවිධ තරාතිරමේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුද්ගලයින් මිට සහභාගී වනු ඇත. මෙම ජාත්‍යන්තර සමුළුව උසස් සම්මිශ්‍රණයකින් යුත් අධ්‍යන සැසි සහ විද්වත් සම්බන්ධතා ඇතිකරගැනීම සඳහා මනා ප්‍රශ්තාවක් සපයයි. තාක්ෂණික වැඩ මුළුව ආරාධිත දේශන සහ සමගාමී  සම්මන්ත්‍රණ වලින් යුක්තය.

    9 වන සංවර්ධනය වෙමින් පවතින රටවල උපත් අබාධ හා ආබාධිත තත්ත්වයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව, උපත් ආබාධ වලක්වා ගැනීම, එබඳු දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නැංවීම සහ  ඔවුනට ගුණාත්මක ජිවිතයක් ගත කිරීමට කළ හැකි දේ පිළිබඳව දැනුම හුවමරුකරගැනීමට උසස් අවස්ථාවක් සපයයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya